Friday, September 23, 2016

කියන්න වදන් නෑ...



කියන්න වදන් නෑ... 






ඔබෙ  දෙතොල් පෙති ලෙහී මැවෙන හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලිලමින් සැලී සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිත වෙයි
සසර සැරි  සරන තෙක් ඔබ මගේ .. ඔබ මගේ.....

රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
          සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක


මේ සැරේ සින්දුවකින් පටන්ගන්න ඕනේ කියල හිතනකොට ඔලුවට ආවේ ඔය සින්දුව...
(ඒකෙ “ එයා ” ඉන්න නිසා වෙන්න ඇති ...)
හැබැයි තව ටිකක් එහාට ගියොත් සින්දුවේ තියන්නේ විරහවක් - දුරස් වීමක් .... ඒ නිසා මම හිතාමතාම ඒ කොටස මග අරිනවා . එතකොට සසර සැරි සරණ තෙක් ඔබ මගේ .. ඔබ මගේ...



ඔය සින්දුව ඇතුලේ තියන්නේ කෙනෙක් ගේ සිතුවිල්ලක් .. තව විදිහකට කියනවනම් කෙනෙක් ගැන හිතන එකක්. කැමති නම් සිතිවිලි මවමින්  කාලේ නාස්ති නොකර  “ඔබ” ඉදිරි පිටට ගිහින්, සද්දෙට  “ සසර සැරිසරන තෙක් ඔබ මගේ .. ඔබ මගේ ” කියල කියන්නත් පුළුවන්. සද්ද නැතුව කඩදාසියක ලියලා දෙන්නත් පුලුවන්. 

සන්නිවේදනය  පැත්තෙන් කතා කරනකොට, එතන මුණගැහෙනවා සන්නිවේදන ආකාර 03 ක්.

01.   සිතන එක - අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
02.   ඉදිරිපිටට ගිහින් ඔබ මගේ කියන එ‍ක - අන්තර් පුද්ගල  - වාචික 
03.   කඩදාසියක ලියලා දෙන එක -  අන්තර් පුද්ගල සන්නිවේදනය - ලිඛිත





සන්නිවේදනය කියන්නේ....

මට හිතෙන හැටි ...

වර්ධනය හොද විදිහට වෙනවා නම් - සංවර්ධනය , ප්‍රයෝග හොද විදිහට වෙනවා නම් - සම්ප්‍රයෝග , නිවේදනය හොදට වෙන එක - සංනිවේදනය.

පොතේ තියන හැටි ...

යමෙක් , යම් පණිවිඩයක් , යම් මාධ්‍යක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම ”..... “ එකිනෙකා අතර තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීම” සන්නිවේදනය නම් වේ........





විෂයක් ලෙස ආරම්භය...


එය ලෝකයට අලුතෙන්ම එකතු වුනු සමාජ ශාස්ත්‍රයක් ලෙසයි සැලකෙන්නේ. ආරම්භය ඇමෙරිකාව තුල සිදුව තිබෙනවා. වාග්විද්‍යාව, ඉංජිනේරු ශාස්ත්‍රය , සමාජ විද්‍යාව, යාන්ත්‍රික විද්‍යාව, රසායන විද්‍යාව, ඉලෙක්ට්‍රොනික් ........ විෂයන් රැසක දායකත්වයෙන් සන්නිවේදනය විෂයට අවශ්‍ය පදනම සැකසී තිබෙන බව දැකිය හැකියි.



ඇතුලතින්ම සිතීම

සන්නිවේදනය සිදුවන ආකාර අනුව එය වර්ග කිහිපයකට වෙන් කර තිබෙනවා.


01.අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය - Intrapersonal Communication
02.අන්තර් පුද්ගල සන්නිවේදනය - Inter Personal Communication
03. සමුහ සන්නිවේදනය - Group Communication
04. ජන සන්නිවේදනය - Mass Communication


Interpersonal Communication

මුලින් විස්තර කල පරිදි  සියලු - සෙසු සන්නිවේදන අවස්ථා වල ආරම්භය වන්නේ, අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය. සරලවම තමා තමා සමග සන්නිවේදනය කිරීම යැයි ඊට  කිව හැකියි. ඒ සඳහා අවශ්‍ය මෙවලම් සැපයෙන්නේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ. ගිනි අගුරක් පෑගුණු විටෙක කකුල සැනෙකින් පැත්තකට ගන්න එක අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනයට දිය හැකි හොද උදාහරණයක්. (පණිවිඩය  සහ ප්‍රතිචාරය දෙකම එක්ක)



Inter Personal Communication

දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනය පිළිබඳව මෙහිදී සලකා බැලෙනවා. මුහුණට මුහුණ ලා කෙරන සන්නිවේදනය මෙහි ප්‍රධාන අවස්ථාවක් වෙනවා. සන්නිවේදන ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරන්නේ ප්‍රතිචාර එක්ක. Inter Personal Communication වලදී ප්‍රතිචාර එක්ක , සන්නිවේදන ක්‍රියාවලිය ඉදිරියට යන්නට තියන ඉඩකඩ බොහොම පුළුල්. 


Group Communication

පිරිමින් අවන්හලකට ගොඩවෙන්නේත් , කොමල කරන මුකුළු පාන ගැහැණුන් ලිද ලගට රැස්වෙන්නේත් බොහෝවිට  මේ සන්නිවේදන ස්වරූපය සම්පූර්ණ කරන්න. එය  මානව අවශ්‍යතාවක් ද වෙනවා. කුඩා කණ්ඩායමක් එකතුවී අදහස් හුවමාරු කරගැනීම සමූහ සන්නිවේදනය ලෙස නම් කෙරෙනවා. පොත පතේ සදහන් වෙන්නේ ප්‍රමාණය 20 කට නොවැඩි පිරිසක් ලෙස. පොතේ ප්‍රමාණය නැතිව හිතනවනම් බසයක් එනකං හෝල්ට් එකේ එකතුවන දෙතුන් දෙනාත් , සංගීත සංදර්ශනයක් නරබන්න පිට්ටනියකට එකතු වුනු පිරිසත් සම්පූර්ණ කරන්නේ සමූහ සන්නිවේදනය..



Mass Communication

ඉදිරියේ නොසිටින, නොපෙනෙන වගේම, ගණන් කරන්නට නොහැකි තරමේ විශාල පිරිසක් වෙත පණිවිඩයක් යොමු  කිරීම ජන සන්නිවේදනය වෙනවා. එහි දී යන්ත්‍ර සූත්‍ර මෙවලම් භාවිතය  අනිවාර්ය කොන්දේසියක් වෙනවා. එසේ නොමැතිව අති විශාල ග්‍රාහක පිරිසකට එකම පණිවිඩය සන්නිවේදනය කරන එක ප්‍රායෝගිකව කල නොහැක්කක්. මුද්‍රිත  හා ඉලෙට්‍රොනික් මාධ්‍ය වශයෙන් ජන සන්නිවේදන මාධ්‍ය ආකාර දෙකකින් දැකිය හැකියි.


ප්‍රතිපෝෂණය..

සන්නිවේදනය ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය තල්ලුව සැපයෙන්නේ ප්‍රතිචාරය ඔස්සේ . ප්‍රතිචාර නිසා සන්නිවේදකයා ප්‍රතිපෝෂණය ලබනවා. එහි ප්‍රථිපලය ලෙස තව පණිවිඩයක් බිහිවිය හැකියි. එය නැවත නැවත සිදුවන චක්‍රයක්.
ඔබ Hiකියල යවන SMS පණිවිඩයට Hi කියල ප්‍රතිචාරයක් ලැබෙනවා ...   එයින් ප්‍රතිපෝෂණය ලබන ඔබKohomada කියල යවනවා... Hodin innawa ඔබ ප්‍රතිපෝෂණය ලබනවා... SMS වැඩේ දිගටම යනවා ... 

(අවුරුදු ගානකට පස්සේ  දරුවා ඉස්කෝලේ දාගන්න සම්මුඛ පරීක්ෂණ පෝලිමේ ඉන්නවා. ප්‍රතිපෝෂණයේ ප්‍රතිපල)




සන්නිවේදනය හරි යාම ...




“සන්නිවේදනය” සම්පූර්ණ වෙන්න කොටස් පහක දායකත්වය ඊට‍ අවශ්‍ය බවයි - ඒ  පිලිබඳ විද්වතුන්ගේ අදහස. එය මෙසේ පෙළගැස්විය හැකියි.

01.   සන්නිවේදකයා
02.   පණිවිඩය
03.   මාධ්‍ය
04.   ග්‍රාහකයා
05.   බලපෑම

යමක් ප්‍රකාශ කරන පුද්ගලයා සන්නිවේදකයා. ඔහුට ප්‍රකාශ කරන්නට, පෙන්වන්නට, දනවන්නට, අඟවන්නට  අවශ්‍ය දේ පණිවිඩය . එය යවන්නට භාවිතා කරන වාහකය - මාධ්‍ය ලෙස හදුන්වනවා ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය, සගරා,පුවත්පත් එබඳු වාහක.  

වචන, සංකේත, අකුරු වගේම චිත්‍රය, චිත්‍රපටය, කවිය ආදියත්....

ග්‍රාහකයා යනු පණිවිඩය ග්‍රහණය කරන තැනැත්තායි. ගුවන්විදුලියට සිටින්නේ ශ්‍රාවකයෙක්. රූපවාහිනියට සිනමාවට, නාට්‍යට, ඡායාරූපයට  ප්‍රේක්ෂකයෙක් ... පුවත් පතට, සඟරාවට පාඨකයෙක් ... දේශකයෙකුට , කවියෙකුට, කතාබහක නිරත වන පොඩි දරුවෙකුට, දුරකතන කතාවක සිටින කෙනෙකුට සිටින්නේ අසන්නෙක්...

බලපෑම යනු සන්නිවේදකයා ග්‍රාහකයා වෙත පණිවිඩය යැවීමෙන් බලා පොරොත්තු වූ දෙයයි. සමහර පණිවිඩ බලාපොරොත්තු වන බලපෑමෙන් තොරව නිම වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සන්නිවේදනය සම්පූර්ණ වෙන්නට නම් බලපෑම , සාධකය සපිරෙන්නට අවශ්‍යයි. එය SMS පණිවිඩයේ දී මෙන් ධන හෝ සෘණ විය හැකියි.





පෙළබෙන්නෝ සහ පොළබවන්නෝ

සන්නිවේදනයේ අරමුණු ලෙස කරුණු කිහිපයක් පොත-පතෙහි සඳහන්. ඒ ,
(අ )  තොරතුරු සැපයීම
(ආ)  අධ්‍යාපනය ලබා දීම
(ඇ)  විනෝදාස්වාදය ලබාදීම
(ඈ )  පෙළඹවීම

වශයෙන්...

කුමන සන්නිවේදන අවස්ථාවක් සැලකුවත් එය ඔය අවස්ථා වලින් එකකට අයත් වනවා.  චිත්‍ර පටයක්, ඡායාරූපයක් , වෙළඳ ප්‍රචාරක දැන්වීමක්  මියුසික් වීඩියෝවක් විතරක් නෙවෙයි, වැටට උඩින් එබීගෙන දොඩන ඕපාදුපයක්, පාරේ කුණු දමන එක ගැන ගහන පෙත්සමක් උනත්.



විධිමත් සහ අවිධිමත් සන්නිවේදනය

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය ( තමා තමා සමග )  සිට සමුහ සන්නිවේදනය තෙක් සන්නිවේදන අවස්ථා වල බහුල ස්වරූපය වන්නේ අවිධිමත් ස්වරූපයක්. කලින් සැලසුම් කල පිළිවෙලකට සන්නිවේදන කාර්ය සිදු වෙන්නේ බොහෝවිට සමූහ සන්නිවේදනය සහ ඉන්  එපිටදී. ඊට හේතුව, පෙර  අවස්ථාවල දී ග්‍රාහකයා සන්නිවේදකයා (යවන්නා , ලබන්නා) ඉදිරිපිට රැදී සිටීම. එවිට දක්වන ප්‍රතිචාර වල ස්වරූපය සමග  පණිවිඩයේ ඊලග අවස්ථාව බොහෝ ඉක්මනින් නැවත නැවත වෙනස් වනවා.

ජන සන්නිවේදනයේදී සැමවිටම වාගේ විධිමත් ස්වරූපයක් අවශ්‍ය වෙනවා. ග්‍රාහක ප්‍රතිචාර ලැබෙන්නේ තරමක් ප්‍රමාදව. ඊටත් වඩා එය විශාල කර්මාන්තයක්. ව්‍යාපාරයක් . සංකීර්ණ සන්නිවේදන ස්වරූපයක්. වෘත්තීය කාර්යක් සහ වගකීමක්.....



ඇසි -දිසි ..

සන්නිවේදනය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය වශයෙන් ද කොටස් දෙකකින් දක්වනවා. සයිරන් හඬ ඇහෙනකොට පාර ඉඩ ලැබෙන්නේ ශ්‍රව්‍ය සන්නිවේදනය නිසා. කාලයක් තිස්සේ බලා පොරොත්තුව හිටපු කෙනෙක් එකපාරටම අලුත් රත්තරන් මුදුවක් දාගෙන ආවොත්, ශරීරය සීතල වෙනවා දැනේනේ...! (දෘශ්‍ය සන්නිවේදනය නිසා)..,  කළුවට හුරු රතු එක්ක, දුඹුරු පාට පෙණ බුබුළු දැක්කම කොකා කෝලා මතක් වෙන්නේ  දෘශ්‍ය සන්නිවේදනය නිසා... නිවෙසින්  බැහැර තැන්වලදී විදේශ රටකදී උනත් නිවැරදිව වැසිකිලි - කැසිකිළි සොයාගන්නේ දෘශ්‍ය සන්නිවේදනය නිසා.




වාචික - අවාචික...

සමහර දේවල් වචනයෙන් කියනවා. සමහරු හැගීම් බර වෙනවා. අත පය ඒ මේ අත වනනවා. ඇස් නටවනවා. නියපොතු හපනවා. නළලට දාඩිය දානවා...

වචනයෙන් හැර අනික් සියලු දේ නිර්වාචික සන්නිවේදනය. 

දෙදෙනෙක් අතර සිදුවන සන්නිවේදනයේ දී වචන වලට වඩා හැගීම් වලින් අදහස් ප්‍රකාශ වනවා වැඩි බවයි පිළිගැනීම. අවාචික සන්නිවේදනය වාචික සන්නිවේදනයේ සීමාවන් ඉක්මවනවා. ඒ නිසයි භාෂාව හරි හැටි නොදැන උනත් හින්දි චිත්‍රපට බලන්නේ.


සුවද, ස්පර්ශය ආදියත් අවාචික සන්නිවේදන ලෙස සලකන්නට පුළුවන්.





ඡායාරූපය , සිනමාව සහ රූපවාහිනිය...


සන්නිවේදන විෂය පැත්තෙන් සලකාගෙන බලන කෙනෙකුට ඒවා ජන සන්නිවේදන මාධ්‍ය . ඒ සඳහා අවශ්‍ය පණිවිඩ , යාත්‍රික ප්‍රතිනිෂ්පාදන කාර්ය සඳහා කැමරා ,ආලෝක උපකරණ , පටල පටි හෝ හාර්ඩ් ඩිස්ක් ආදී අපමණ උපකරණ භාවිතා වෙනවා. සන්නිවේදකයා සන්නිවේදනයේ අරමුණු සපුරා ලන්නට වෙහෙසෙනවා... ඒ නිසා මම එළබෙන සතියේ අලුත් බ්ලොග් එකක් ලියනවා..
Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

1 comment: