Monday, July 11, 2016

කතා කියන රූප රාමු - 01





කතා කියන රූප රාමු -01




සිනමාවේදී සහ රූපවාහිනියේදී රූප මගින් තොරතුරු සන්නිවේදනය කරනවා. උචිත ආකාරයට ඒ සදහා රූප ගැලපීම, රූප රචනය යැයි කියනවා. රූප රචනය කරන්නට නම් රූප භාෂාවේ සංඝටක දැන සිටිය යුතුයි. ( සිනමාවේ රූපයට  60% ක්  සහ ශබ්ධයට   40%  ක් ද රූපවාහිනියේ රූපයට 50% ක් සහ ශබ්ධයට  50% ක වටිනාකමක් ඇති බව ඇතැ‍ම් වියතුන්ගේ අදහසයි. )

බොහෝවිට භාෂාවක් මගින් දැක්වෙන අදහස් තේරුම් ගන්න නම්, ඒ  භාෂාව දැන සිටිය යුතු වෙනවා. අප ඉදිරියට එන ග්‍රීක ජාතිකයෙක්, ඔහුගේ මවු භාෂාවෙන් කතා කරොත් එය  අපට තේරුම් ගත නොහැකි වෙන්නේ ,  අප ඒ භාෂාව නොදන්නා නිසා. නමුත් ජන කොටසකට සීමා නොවුණු පොදු භාෂාත් ලෝකයේ තිබෙනවා. සංගීතය (Music) එයට උදාහරණයක්   ... රූප භාෂාවත් එවැන්නක්.

නොදන්නා භාෂාවකින් තැනූ චිත්‍රපටියක් උනත් අපිට රසවිදින්න පුළුවන් වෙන්නේ කතා කරන භාෂාව අභිබවා එහි රූප භාෂාව අපිට තේරුම් ගන්න පුළුවන් වෙන නිසා. එවැනි භාෂා වලට විශ්වභාෂා කියනවා.


රූපවාහිනී වැඩසටහනක හෝ චිත්‍රපටයක රූපරාමු  රැසක් එකතුවීමෙන් දර්ශනය (Scene)  කුත් , දර්ශන රැසක් එක් වීමෙන් දර්ශන පිළිවෙළකුත් (Sequence)  එවැනි ඒකක රැසකින් ජවනිකාවකුත් (Act) ජවනිකා කිහිපයක එකතුවෙන් කතාවකුත් (STORY) ගොඩනැගෙනවා. අවසාන වශයෙන් චිත්‍රපටයක් ලෙස අපි දකින්නේ එබඳු සංඝටක රැසක එකතුවක්.


ඒ අනුව රූප රචන යේදී හමුවන කුඩාම ඒකකය වන්නේ රූපරාමුව (SHOT) වීඩියෝ කැමරාවේ පටිගත කිරීමේ බොත්තම ON කිරීමේ  තැන සිට එය OFF කරණ අවස්ථාව දක්වා පටිගත වන සියල්ල SHOT එකක් වශයෙන් සලකනවා ( නමුත් සංස්කරණයේදී භාවිතා වන්නේ එයින් සීරුවෙන් තෝරා ගන්නා කොටසක් විය හැකියි) 

තනි Shot එකේ චිත්‍රපට ද ලෝකයේ නිපදවා තිබෙනවා. “රෂියන් ආර්ක්‌ ” චිත්‍ර පටය එවැන්නක්.  විනාඩි 90 ධාවන කාලයකින් යුතු එය, රුසියානු ඉතිහාසය පාදක කරගෙන  නිෂ්පාදනය වුනු විශිෂ්ට චිත්‍රපටයක්‌ ලෙස සලකනවා .





රූප භාෂාවේ හෝඩිය

  
ඉහත රූපරාමු වලට අදාළ චිත්‍රපට සඳහා පිවිසුම .


01.  ඉතා  දුර රූපය Extreme Long Shot   (XLS)

      ඉතා  පුළුල් ප්‍රදේශයක් හසු කර ගනිමින් සකසන රූප රාමුව ඉතා  දුර රූපය  ලෙස නම් කරනවා. එවැනි රූපයකින් පුළුල් ප්‍රදේශයක පැතිරුණු කාන්තාර භූමියක්, ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විත නාගරික ප්‍රදේශයක්, භූ විෂමතා ලක්ෂණ වලින් යුතු පුළුල් කඳු ප්‍රදේශයක් දර්ශනය කල හැකියි.


02.  අති දුර රූපය Very Long Shot   (VLS)

      තරමක් පුළුල් ප්‍රදේශයක් හසු කර ගනිමින් සකසන රූප රාමුව අති දුර රූපය  ලෙස නම් කරනවා. එවැනි රූපයකින් හාත්පස  පරිසරය දක්වනවා , කිසියම් සිදුවීමක් වන ස්ථානය තොරතුරු සහිතව  පෙන්වන්නට ද එයින් හැකියි.


03.  දුර රූපය Long Shot (LS)

       සාමාන්‍යයෙන් කෙනෙකුගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා රාමුගත කරණ  රූප රාමුව දුර රූපය ලෙස නම් කෙරෙනවා. පුළුල් කෝණ රූපය (wide Shot or full shot) ලෙස ද සමහර අවස්ථා වල සදහන්ව තිබෙනවා. කෙනෙකුගේ සම්පූර්ණ පෙනුම රාමු ගතකරගන්නා නිසා ඔහුගේ ඉරියවු , ඇදුම් පැළදුම් පිලිබඳ සමස්ථ අදහසක් දුර රූපය මගින් ලබා ගන්නට පුළුවන්. වඩා වැදගත් කරුණ වන්නේ පසුබිම සමග වස්තුවේ තිබෙන සම්භන්ධය එම රූප රාමුවෙන් විස්තර වීමයි.


04.  මධ්‍යම දුර රූපය Medium Long Shot (MLS)

       ඇතම් තැන්වල මෙම රූපය පිළිබඳව සදහන් වන්නේ නෑ. මධ්‍යම දුර රූපය භාවිතයට පැමිණ ඇත්තේ   ඇමෙරිකානු ගොපළු චිත්‍රපට ඔස්සේ  බව පැවසෙනවා. ගොපළු චිත්‍රපට වල ගපලු තරුණයා සිය කලිසමේ දණහිසට  පහලින් තිබෙන සාකුවෙන් පිස්තෝලය ඇදගැනීම ආකර්ශනීය රංගන අවස්ථාවක්. නමුත් දුර රූපයෙන් එම දර්ශනය පෙන්වීම එයට හිමි  ප්‍රෞඩ බවට හානි ගෙන දෙන්නක් .නමුත් ඊලගට තිබෙන මධ්‍යම රූපයේ දී පිස්තෝලය සාක්කුවෙන් පිටතට ගන්න අවස්ථාව රූපරූමුවෙන් පිටත.  ඒ හේතුවෙන් දුර රූපයත් මධ්‍යම රූපයත් අතරතුරට මධ්‍යම දුර රූපය පැමිණි බවයි සැලකෙන්නේ.


05.  මධ්‍යම රූපය Mid Shot (MS)

      මිනිස් සිරුර දෙකට බෙදන රේඛාවක්‌ නාභිය හරහා තිරස්ව ඇදිය හැකියි. එවිට ඉහළ කොටස එක් අර්ධයකුත්, පහළ කොටස තව අර්ධයකුත් වනවා. එයින් සිරුරේ ඉහළ අර්ධය ඇතුලත් වන සේ රාමු ගත කෙරෙන රූපය මධ්‍යම රූපය ලෙස නම් කෙරෙනවා. දුරත් නොවන වඩාත් සමීපත් නොවන  හැගීමක් ප්‍රේක්ෂකයා වෙත ලබාදෙන්න එවැනි රූපරාමු භාවිතා කල හැකියි. ප්‍රවෘත්ති ප්‍රකාශ වලදී ප්‍රවෘත්ති පූරක වරයා රදවන්නේ එවැනි රූපයක. එහිදී වඩා සමීප කෙනෙක් ප්‍රවෘත්තිය කියනවාට වඩා එය අවධාරනාත්මකයි. වඩා දුරස්ථ කෙනෙක් ගේ ප්‍රකාශයකට වඩා විශ්වසනීයයි.



06.  මධ්‍යම සමීප රූපය Medium Close-Up (MCU)

       පෙනී සිටින කෙනාගේ ළය මට්ටමෙන් ඉහළ ප්‍රදේශ‍ය හසු කරගන්නා රූප රාමුව. චරිතය වඩා සමීපව දනවන්නට එයට හැකියි. චරිතයේ  හැගීම් මෙන්ම අංග චලනයනුත් යම්තාක් මට්ටමකට එබදු රූප වල පෙනෙනවා. සිනමාවට වඩා සාපේක්ෂව රූපවාහිනිය කුඩා තිරයක් බැවින් මධ්‍යම  රූප මධ්‍යම සමීප රූප ටෙලිවිෂන් මාධ්‍යට වඩා උචිත බවටද මතයක් පවතිනවා.


07.  සමීප රූපය Close-Up (CU)

       යමක විස්තර වඩාත් හොදින් පෙනෙන්නේ ලංව බැලූ කල. රූප රචනයේදී වඩාත් අවධාරණයෙන්  බලවන්නට අවශ්‍ය දේ පෙන්වීමට සමීප රූපය භාවිතා කරනවා. එවිට හැගීම් වඩාත් හොදින් පෙනෙනවා.සමීප බව  වඩාත් හොදින් දැනෙනවා.


08.  විශාල සමීප රූපය Big Close-Up (BCU)

       Big Close-Up යන්න සිංහලයට ගන්නට සිදුවන්නේ විශාල සමීප රූපය නමින්. සමහර ලේඛන වල මෙම රූප රාමුව දක්වා නැහැ. පෙර සදහන් කල සමීප රූපයත් අති සමීප රූපයත් අතර මැද අවස්ථාව මෙයයි.


09.  අති සමීප රූපය Extreme Close-Up (ECU)

      සවිස්තරාත්මක රූපය (detail Shot) ලෙස සමහර ලේඛන වල දක්වා තිබෙනවා. පසුබිම සම්පූර්ණයෙන්ම වාගේ  ඉවත් කර වස්තුවට රාමුවේ වැඩි ප්‍රතිශතයක ඉඩක් ලබා දෙමින් මෙම රූප රාමු සැකසෙනවා. ඉතා ආසන්නයට ගොස් බැලූ කල දැනෙන හැගීම ඇති කිරීම අපේක්ෂා වෙන් එබඳු රූප යොදනවා. වස්තුව කෙරෙහි අවධාරනාත්මක බවක් ඇති කරන්නට එවිට හැකියි.


Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

No comments:

Post a Comment