Thursday, September 15, 2016

පාට පාට ලෝකයක් ..!



පාට පාට ලෝකයක් ..!





රබර් වත්තක් අයිති සල්ලි-බාගේ තියෙන මිනිහෙක් හිටියලු . රත්නපුර පැත්තේ . මිනිහට ඕනේ උණාලු තමන්ගේ කාර් එක තමන්ටම පදවන්න රියදුරු බලපත්‍රයක් ලබාගන්න. පෙර පුහුණු වීම් අවසානයේ මෝටර් රථය පරීක්ෂක වරයා ඉදිරියේ පදවා පෙන්වන අවස්ථාවත්  ආවා...  
ඔන්න ඉතින් අපේ මිනිහා සූර වීර සෙයියාවෙන් පරීක්ෂක ඉදිරියේ වාඩිවෙලා ඉන්නවා. ඒ අතර තුර පරීක්ෂක වරයා ප්‍රශ්නයක් අහනවා...
පරීක්ෂක වරයා - හරි මට කියන්න බලන්න
                           කොළ වැටුනාම මොකද කරන්නේ ...
අපේ මනුස්සයා එකෙන්ම උත්තර  දෙනවා.
අ .ම - කිරි කපන එක නවත්තනවා ...
පරීක්ෂක වරයා අන්දුන් කුන්දුන්...

පරීක්ෂක වරයා  දැන් පෙන්ෂන් ගිහින් , හැබැයි තාම කල්පනා කරනවලු ට්‍රැපික් ලයිට් වල කොළ වැටුනාම කිරි කපන එක නවත්වන්නේ ඇයි කියලා....  

කතාව එච්චරයි , (සිරසට “ යර්ස් බොස් ” එඩිට් කරනකොට හිත හිත හිනාව දැම්මට මෙතන එහෙම බෑනේ... හිනා ගියේ නැත්නම් අගට හිනාවක් දාගන්න...)


කොහොම නමුත් මේ සූදානම COLORS   පෙන්නන්න ....


ඇත්තටම රබර් කොළ කොළපාටට පෙනෙන්නේ කොහොමද .........?

ඉර එලිය රබර් පත්‍ර වලට වැටෙනවා. එහි සියලු වර්ණ පත්‍ර වල කොළ පැහැය විසින් උරාගෙන , කොළ පාට විතරක් පරාවර්තනය කරනවා. ඇස හරහා මොලය විසින් රබර් පත්‍ර වල කොළ පැහැය හදුනා ගන්නවා.

එතකොට වදමලේ රතු පාට ...?
ඉර එලිය මලට වැටෙනවා . සෙසු වර්ණ සියල්ල උරා ගන්නවා, රතු විතරක් පරාවර්තනය කරනවා. ඇස හා මොලය රතු හදුනා ගන්නවා.

ඉර එලිය වර්ණ ගොඩක එකතුවකි...!
ඉර එලිය සුදු පාටයි. සුදු කියන්නේ වර්ණ රැසක  එකතුවක්.
එතකොට...,




නිල් +කහ +රතු , එකතුව කළු නේ....


ඒ ද්‍රව්‍ය වර්ණ. සාමාන්‍ය තීන්ත ඉහත ආකාරයට සම ප්‍රමාණ වලින් මිශ්‍ර කළොත් ප්‍රතිපලය කළු තමයි. නමුත් ආලෝකයේ වර්ණ සංයෝජනය ඊට වෙනස්. එහි සුදු කියන්නේ වර්ණ සියල්ලේ එකතුව...


කොහොමද පිළිගන්නේ...?

වීදුරු ප්‍රිස්මයක් ගන්නවා. සුදු ආලෝක කදම්භයක් එයට වට්ටනවා. අනික් පැත්තේ දේදුන්නේ වර්ණ වෙන්වී පෙනෙනවා. එසේ වෙන් වුනු වර්ණ වලට එල්ල කර, ආපසු අනික් පැත්තෙන් ප්‍රිස්මයක් තැබුවොත් සුදු ආලෝක කදම්බයක් නැවත පිට වෙනවා.





එයින් පැහැදිලියි හිරු එළියේ සුදු ආලෝකය තුළ සෙසු සියලු වර්ණ අඩංගු බව.


ප්‍රිස්මය නිසා එහෙම වෙන්නේ ඇයි...?

ලෝකයේ පවතින සියලුම ශක්තීන් තරංග ආකාරයෙන් පවතින බව පිළිගැනෙනවා. ඊට  ඉතා විශාල පරාසයක තරංග  අයත් වනවා .

ආලෝකය කියන්නෙත්  ශක්තියක් . එය ඇසට ගෝචර වනවා.  විශාල තරංග පරාසයෙන් එය තා කුඩා කොටසක්.


උදෘතය - අන්තර්ජාලයෙන් 




ඇස විසින් ග්‍රහණය කරගත හැකි තරංග කොටසට විද්‍යුත් චුම්භක වර්ණාවලිය හෙවත් දෘශ්‍ය ආලෝකය කියනවා. තරංගයේ දුර අනුව වර්ණ එකින් එක වෙනස් වනවා. එහි දුර මැනිය හැක්කේ නැනෝමීටර් වලින් (nm)


වයලට්  380-450 nm
නිල්      450-495 nm
කොළ   495-570 nm
කහ      570- 590 nm
තැඹිලි   590- 620 nm
රතු       620- 750 nm



ආපසු ප්‍රිස්ම කතාවට....


ප්‍රිස්මය කියන්නේ වීදුරු කුට්ටියක්. සාමාන්‍යයෙන්  ආලෝක තරංග, එක් මාධ්‍යකින් තව මාධ්‍යයක් වෙත පිවිසීමේදී යම් ප්‍රමාණයක හැරවීමකට ලක් වනවා. ඒ අනුව වාතය හරහා එන ආලෝක තරංග වීදුරුව හරහා ගමන් කිරීමේදී යම් හැරීමකට ලක් වනවා . ( වාතය විරලතර මාධ්‍යක් සහ වීදුරුව ගහනතර මාධ්‍යක් වනවා) ඒ අනුව  ප්‍රිස්මයේ දී ආලෝක තරංග හැරෙන්නේ එකිනෙකට වෙනස් කෝණ වලින්. ඒ නිසා දේදුන්නේ වර්ණ සංයෝජනය ප්‍රිස්මය නිසා  දැකිය හැකි වෙනවා.



උදෘතය - අන්තර්ජාලයෙන් 


කලු සුදු...


කලු කියන්නේ නරක සුදු කියන්නේ හොඳ . සමාජ සම්මතය එහෙමයි.  ( ඒකනේ ප්‍රියන්තගේ සඳ විනිවිද ට - “ කලුත් නැති සුදුත් නැති  චරිත විනිවිද දකින” කියල තේමා පාඨයක් දැම්මේ )


හැබැයි 
ඇස, කලු-සුදු දකින විදිහ තරමක් වෙනස්.

කුඹුරේ සුදු කොකෙක් හිටගෙන ඉන්නවා. ඉර එලිය කොකා මත වැටෙනවා...වැටෙන ආලෝකය සියල්ල පරාවර්තනය වී ඇස වෙත එනවා. ඇස සුදු හදුනා ගන්නවා... ( “සුදු” පතිතවන ආලෝකය සියල්ල පරාවර්තනය කරනවා )

එතකොට කලු කොකෙක් හිටියොත්...ඉර එලිය කලු කොකා මත පතිත වෙනවා. ඉන් සියලු ආලෝකය උරා ගන්නවා. ඇසට කිසිවක් පරාවර්තනය වෙන්නේ නෑ. අදුරු පැල්ලමක් ..! ඇස හරහා මොළය  එය “කලු” ලෙස හදුනා ගන්නවා.කොන්ඩේ කලුවට පෙනෙන්නෙත්  එහෙම , කපුටා කලුවට පෙනෙන්නෙත් එහෙම...තාර පාර කලුවට පෙනෙන්නෙත් එහෙම . අගුරු කලුවට පෙනෙනෙත් එහෙම.  (වැටෙන ආලෝකය සියල්ල උරා ගන්නේ කලු )


සාදා එවීම සහ හරවා එවීම...

මිනිස් ඇස වර්ණ දකින ආකාරය පැහැදිලියි... හරවා එවන ආලෝකය ඇස විසින් ග්‍රහණය කරගැනීම.කලු නම් එසේ හරවා නො එවීම. එමෙන්ම ආලෝකය නිෂ්පාදනය කරන වස්තු ද විශාල ප්‍රමාණයක් අවට ලෝකයේ තිබෙනවා. හොදම - ලොකුම උදාහරණය සූර්යයා .. කෘතීම ප්‍රභව විදිහට විදුලි බුබුළු, ෆ්ලොරසන්ට් බට  මෙන්ම, ඉටිපන්දම් දැල්ල උනත් සළකන්න පුළුවන්. රූපවාහිනී හා පරිඝනක තිරයත් ආලෝකය නිපදවන උපකරණ. ඒ සඳහා ඒ තිර මත කුඩා ආලෝක විමෝචන උපකරණ විශාල ප්‍රමාණයක් සවිකර තිබෙනවා.


ආලෝකයේ මූලික වර්ණ...





රතු ,කොළ ,නිල් ආලෝකයේ මූලික වර්ණ ...ඒවා විවිධ ප්‍රමාණ වලින් මිශ්‍ර කිරීමෙන් වර්ණාවලියේ වර්ණ වලින් අතිවිශාල ප්‍රමාණයක් නිපදවා ගත හැකියි. ද්‍රව්‍ය වර්ණ වලට තරමක් වෙනස් ආකාරයකටයි මෙහි වර්ණ සංයෝජනය සිදු වෙන්නේ. රතු , කොළ, නිල් වල එකතුව වන්නේ සුදු...



ඒ අනුව, කොළ රතු එකතුවෙන් කහ වර්ණයත් , කොළ නිල් එකතුවෙන් සයන් වර්ණයත් , නිල් රතු එකතුවෙන් මැජෙන්ටා වර්ණයත් , රතු කොළ එකතුවෙන් කහ වර්ණයත් සාදා ගත හැකියි. සයන් මැජෙන්ටා කහ කහ වර්ණ ආලෝකයේ ද්විතික වර්ණ වෙනවා. ඊට හේතුව ඒ වර්ණ මූලික වර්ණ දෙකක්  එකතුවෙන් හැදී තිබීම නිසා.


කෝටි ගණන් පාට පාට....

පරිගණක ආශ්‍රිතව වර්ණ සංයෝග කිරීමේ දී එක මූලික වර්ණයක, වර්ණ අවස්ථා 256 ක් නිරූපණය වන  බව සැලකෙනවා. ( “0” සිට “255” දක්වා අවස්ථා 256 ක් )  මූලික වර්ණවල  මේ අවස්ථා එකිනෙක  මිශ්‍ර කිරීමෙන් වර්ණ මිලියන 16 කට වැඩි ප්‍රමාණයක් ප්‍රති නිෂ්පදයනය කරන්නට හැකියි.  


256 X 256 X 256 = 16,777,216  


ඉතින් ,

R = 255                  G = 255                 B = 255                  = සුදු
R = 255                  G = 0                     B = 0                      = රතු
R = 0                      G = 255                 B = 0                      = කොළ
R = 0                      G = 0                     B = 255                  = නිල්
R = 0                      G = 0                     B = 0                      = කලු


එමෙන්ම ,

එකම වර්ණයේ සමාන අගයන් ශ්‍රේණිය දක්වන්නේ කලු සිට සුදු දක්වා වෙනස් වන අළු වර්ණයේ විවිධ අවස්ථාවන් රැස .  එය ආලෝකයේ දීප්ත තාවය වනවා . 

තේරෙන සිංහලෙන් නම ග්‍රේ ස්කේල් ( Gray scale ) එක .

R = 0                      G = 0                     B = 0                      = කලු
R = 100                  G = 100                 B = 100                  = අළු
R = 150                  G = 150                 B = 150                  = අළු
R = 200                  G = 200                 B = 200                  = අළු
R = 255                  G = 255                 B = 255                  = සුදු


එහෙමනම් කලුත් නැති සුදුත් නැති අලුවට ජීවත් වෙන්න උත්සාහ කරන අතර ,

සෙස්ස පසුවට...

Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

No comments:

Post a Comment