Thursday, September 8, 2016

ආලෝකය විදුලිය බවට හරවනු ලැබේ - 02.



කාගෙන් කොහෙන් හරි සෙලේනියම් මූලද්‍රව්‍ය කොටසකුත් හොයාගෙන කෙනෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේම කියලා වීඩියෝ කැමරාවක් නිෂ්පාදනය කරන්න. ( වෙනවට නෙමෙයි , අනුමානෙට එහෙම හිතමු...) ඒත් තව විසදා ගතයුතු ගැටළු කිහිපයක් ඒ කෙනාට තියනවා. 
ප්‍රධාන වශයෙන්ම අර X-Y පාඩමේ කොටු 9 ඔය වැඩේ ට කොහෙත්ම ප්‍රමාණවත් නෑ. අනික ආලෝකය විදුලිය බවට හැරවීමේ එක්තරා බලාපොරොත්තුවක් වෙන්නේ එය විකාශනය කිරීම. එසැනින් - අති විශාල ග්‍රාහක පිරිසකට. 
එහෙම නම් රටේ ප්‍රධාන ( හෝ  බහුල ) විදුලි සැපයුම සමග ගලපා ගතයුතු එකගතා කිහිපයක් ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා. තිරයේ දිග - පළල. ඒ පිළිබඳවත් පොදු සම්මතයක් තියෙනවා. නොඑසේ නම් එක එක ග්‍රාහකයා එක එක ප්‍රමාණයේ, විවිධ ස්වරූපයේ රූප දකීවි. එහෙම නම් සෙලේනියම් ටික පැත්තක තියලා මේක කියවලා ඉමු...



01.   දෘශ්‍ය අනුපාතය 

                                   16:9
4:3

අලුත් කරපු නැති ඕනෑම පරණ TV තිරයක   හැඩය ඔබට මතකද ..? එය සමචතුරස්‍ර හැඩයට සමාන හතරැස් එකක්. ඊළගට මෑත කාලේ ජනප්‍රියවුණු LCD, LED, HD රූපවාහිනියේ තිරය, කලින් එකට වඩා දිගටි හතරැස් හැඩයකින් යුක්තයි. අති පුළුල් තිරය වශයෙන් හැදින්වෙන තිරයේ ප්‍රමාණය ඊටත් වඩා දිගටි හැඩයක් සහිතයි..ඒවාට ඒ ඒ හැඩයන් ලැබී තිබෙන්නේ සහේතුකව. සමචතුරස්‍ර හැඩයට ආසන්න ප්‍රමාණය 4:3 ලෙසත් පසුව ජනප්‍රියවුණු LCD, LED, HD වල තිර ප්‍රමාණය 16:9 ත් වනවා. ( වීඩියෝ කැමරාවේ රූප සංවේදකයේ තිරස් සහ සිරස් අනුපාතයන් ද 4:3 හෝ  16:9 වනවා  ) එය සම්මතයක්. සම්මතයට හේතුව වන්නේ ඇසේ දෘෂ්ටි සීමාවන්. තනි ඇසක් දකින රූප රාමුවක ප්‍රමාණය ආසන්න වශයෙන් 4:3 ක්. කැමරා කාචය තනි ඇසකට සමාන උවත්, ඉන් රාමු ගත කෙරෙන රූපය දෑසේම දෘෂ්ටියට සමයි. ඒ නිසා පසුකාලීනව 16:9 අනුපාතය සම්මතයක් ලෙස පිළිගැනුණා. 16:9 යනු ඇස් දෙකෙහි දෘෂ්ටි සීමාවට ආසන්න වනවා.



( 4:3 රූපවාහිනී තිරයේත් 16:9 දකින්නට ප්‍රේක්ෂකයා කැමති උනා. ඒ නිසා ඇතැ‍ම් රූපවාහිනී වැඩසටහන් වල 4:3 තිරය උඩින් යටින් කළු කර භාවිතා කෙරුණා.)  





02.  දෘෂ්ටි අඛන්ඩතාව


                                                                                                    උදෘතය - daviddefino.blogspot.com 

ගිනි පෙනෙල්ලක් රවුමට කරකවා ගිනි වළල්ලක්‌ දැකගත් අද්දැකීමක් ඔබට ඇතයි සිතනවා. රවුමට කරකැවෙන ගිනි පෙනෙල්ල එක්තරා වේගයකදී ගිනි වළල්ලක්‌ව පෙනෙන්නේ ඇයි...?

ඇසේ දෘෂ්ටි විතානය මත වැටෙන පිලිබිබුව පිලිබඳ විස්තර දෘෂ්ටික ස්නායු ඔස්සේ මොලය වෙත ගෙන යනවා . ලැබෙන තොරතුරු මත පදනම්ව මොලය විසින් රූපය තේරුම් බේරුම් කරගන්නවා. මේ සඳහා තත්පරයෙන්  1/10 ක කාලයක් ගතවන බවයි සැලකෙන්නේ. (ඇතම් පොත්වල එය තත්පරයෙන් 1/20 බව සටහන්ව තිබෙනවා.)  යම් හෙයකින් පළමු තොරතුර මොලය වෙත යැවෙන කාලය අතරතුර දෙවන තොරතුරක් දෘෂ්ටි විතානය මත පතිත උවහොත් ඒ පිලිබඳ දත්ත මොලය වෙත යැවීම අඩාල  වෙනවා. ඒ හේතුවෙන්  ඉතා වේගයෙන් කරකවන ගිනිපෙනෙල්ල ගිනි වල්ලක්ව පෙනෙනවා.

සිනමාවේදීත් චලය පෙන්වන්නට භාවිතා කරන්නෙත් ඔය උපක්‍රමය. එහිදී තත්පරයට රූප රාමු 20 ට වඩා වැඩි වේගයක් භාවිතා කිරීම සුමට චලනයක් දකින්නට ප්‍රමාණවත් වනවා . සිනමාවේ එසේ තත්පරයට භාවිතා කරන රූපරාමු ප්‍රමාණය  24 ක්. ඒ පිළිබඳව කලින් කියවුනා . මෙන්න ලින්ක්එක . 





වීඩියෝ කැමරාවේ රූප සංවේදකය මගිනුත් ඊට සමාන රූප රාමු ප්‍රමාණයක් තත්පරයක් මත ස්කෑන් (පරිලෝකනය)  කෙරෙනවා. ප්‍රමාණය තත්පරයට රූප රාමු 25 ක්. ( ලංකාවේ විකාශන ක්‍රමය PAL - B. එහි තත්පරයක් තුළ පරිලෝකනය කෙරෙන රූප රාමු ප්‍රමාණය 25 යි.  )



03.තත්පරයට 15625 ක්..!


රූපරාමුව පරිලෝකනය කෙරන්නේ සංවේදකය මතට සිහින් ඉලෙක්ට්‍රෝන කදම්භයක් විදීමෙන් . එම ඉලෙක්ට්‍රෝන කදම්භය ඉතා වේගයෙන් , අඛණ්ඩව වමේ සිට දකුණට ගමන් කරනවා . එමගින් ආලෝකයට සාපේක්ෂ විදුලිය ධාරාව සකසා ගැනෙනවා. රූපරාමුවක් මත ආලෝක කදම්භය 625 වතාවක් ඒ සඳහා ගමන් කරනවා. පියවි ඇසින් දැකිය නොහැකි අති  විශාල වේගයක් .   

( අද වනවිට ඉලෙක්ට්‍රෝන කදම්භය විදින එක වෙනුවට වෙනත් දියුණු       තාක්ෂණික  ක්‍රම   භාවිතා     වෙනවා. නමුත්  මෙහෙම  යන   එක        “ ආලෝකයයෙන්  විදුලිය හදන හැටි ” පැහැදිලි කරගන්න තරමක් පහසුයි.)



04.      ඔත්තේ ද ඉරට්ටේ ද ...?

(නැවත මතක් කිරීම - ආලෝකය විදුලිය බවට හැරවීමේ එක් අරමුණක් වන්නේ විකාශනය කිරීම යි) 

තත්පරයට රූපරාමු 25 ක දත්ත එකවර විකාශනය කිරීමට තරමක් ලොකු සංඛ්‍යාත පරාසයක් අවශ්‍ය වනවා. එසේ වුවහොත් විකාශන නාලිකා සදහා ලැබෙන්නේ අඩු අවස්ථා ප්‍රමානයක්. 

ඊට යොදාගත් සාර්තක  පිලියමක් වන්නේ   වීඩියෝ කැමරාවේ සෙන්සරය ස්කෑන් කිරීම කොටස් දෙකකට කඩා සිදු කිරීම . ඒ ඔත්තේ සහ ඉරට්ටේ ලෙස . 1,3,5,7,9 සහ 2,4,6,8 වශයෙන් .  එවිට මුලින් කියූ 625 ක්වූ ඉලෙක්රෝන කදම්භය 312 ½ බැගින් වන අවස්ථා 2 කින් සිදු වනවා.


තත්පර 1  = රූපරාමු ( Frames ) 25
රූපරාමු 1 = ක්ශේත්‍ර ( Field ) 2
ක්ෂේත්‍ර 1 = පරිලෝකන රේඛා (Scanning Line) 312 ½
රූපරාමු 1= පරිලෝකන රේඛා (Scanning Line) 625

තත්පර 1  = පරිලෝකන රේඛා (Scanning Line) 15,625




තත්පරයට 15625 ක්..!





05.  25i හා 25p


                                                                                             Interlace Scanning


වීඩියෝ කැමරා සෙන්සරය ඔත්තේ සහ ඉරට්ටේ වශයෙන් අවස්ථා 2 කින් ස්කෑන් කරණ ක්‍රමය හදුන්වන්නේ අතුරු වියු පරිලෝකනය ලෙස . තේරෙන විදිහට නම් Interlace Scanning . ඒ ආකරයෙන් රූප රාමු වලට අදාළ විද්‍යුත් ධාරාව සකසා ගන්නා ක්‍රම වල තත්පරයට රූපරාමු ප්‍රමාණය 25 ක් නම්  25i ලෙස දක්වා තිබෙනවා . එහි 25p ලෙස දක්වා තිබුනොත්...?

ඉරට්ටේ සහ ඔත්තේ වශයෙන් රූපරාමුව ස්කෑන් කරනු ලැබුවේ විකාශනයේ අවශ්‍ය තාව නිසා. නමුත් විකාශනයට නොයන අවශ්‍යතාවක 25p භාවිතා කරන්නට හැකියි. " P " හි අදහස Progressive යන්න.




06.  කළු - සුදු වර්ණ

ආලෝකයට ප්‍රතිසම විදුලිය නිපදවීම ඔස්සේ මෙතෙක් ආවේ ආලෝකය ඇති නැති බව එක්ක විතරයි. සුදු පැහැයේ  සිට අළු පැහැය ඔස්සේ කළු පැහැය දක්වා. එය ආලෝකයේ දීප්ත තාවය යනුවෙන් හදුන්වනවා. ( ආලෝකය තියනවානම් සුදු , නැත්නම් කළු ලෙස )  

එතකොට වර්ණ...........? 




සෙස්ස පසුවට ...
Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

3 comments: