Thursday, October 13, 2016

අපි චිත්‍රපටියක් හදමු......!



අපි චිත්‍රපටියක් හදමු......!



එහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්න පුළුවන් , මේ යකාට පිස්සු කියලා..
ඉතින් එහෙම හිතෙන එකේ වරදකුත් නෑ... 
හේතු  තුනක් නිසා (මම හිතන විදිහට ) 

01 ,
අපේ  ලාංකික ප්‍රේක්ෂකාගාරයට වැඩක් කරන්න හිතනවා කියන්නේ....................?
වැඩේට කලින්  ඒ කෙනා මනෝ විද්‍යා දොස්තර වරයෙක්ට පෙන්වන එක හොඳයි වගේ කාරණයක් ...
එය ඉතා හොද සිහියෙන් යුතුව ගත්ත තීරණයක් බවට තහවුරු කරගන්න එක කොයි එකටත් හොදයි...


02 ,
චිත්‍රපටි කියලා මෙහෙ හදන ඒවා 90% ක්ම දකිනකොට, මුන්ට පිස්සු කියල ප්‍රේක්ෂකාගාරයට හිතෙන නිසා. වැදගත්ම කාරණය වෙන්නේ ප්‍රේක්ෂකාගාරය බොහෝවිට එසේ සිතීම ඉතාම සාධරණ නිසා....


03 ,
කොහොම හරි හදපු චිත්‍රපටියක් ,  පෙන්න ගන්න විදින අප්‍රමාණ දුක් කන්ද   එක්ක , ඒ අයට පිස්සු හැදෙන්නේ නැතිව බේරෙන එක  පුදුමයට කාරණයක් නිසා.


ඒ කොහොම උනත් රස විදීමක් සහිත කෙනෙක් කියන්නේ බොහෝවිට පිස්සෙක්. එවැනි යමක් ප්‍රායෝගිකව පටන්   ගන්න හිතෙනවා කියන්නේ අසනීපය සෑහෙන්න ඔඩු දුවලා. මනෝ වෛද්‍යවරයෙකු වහාම හමු විය යුතු තරමටම...( අනික් අයට සාපේක්ෂව ලෝකේ වෙනස් විදිහට පෙනෙන්නේ පිස්සොන්ට ..)

ඒ නිසා,
අපි චිත්‍රපටියක් හදමු.


හැබැයි, එතකොට කෙනෙක් මට  කියන්න පුළුවන් “කෝ ඉතින් තමුසේ චිත්‍රපටියක් තියා ලංකාවේ TV චැනල් එකකට මෙගා නාට්ටියක් වත් කරලා නෑනේ ’’ කියල.  ඒකටත් ගැලවිල්ලට කියන්න මට හේතුවක් තියනවා.

චිත්‍රපටයක් කිරීම සඳහා ඔබට “ කැමරාවක් සහ සිනමාත්මක අදහසක් ” තිබිය යුතු වේ....... කියල  අදහසක් සමහර විට ඔබට අහන්න ලැබිලා ඇති.... එය මටත් සාධාරණයි.

කැමරාවක් නම් මොනවහරි කරගන්න පුළුවන්.  සිනමාත්මක අදහසක්..............................................................................................?
ඒ නිසා තව දුරටත් මම චිත්‍රපට කරුවෙක් වීමට සෑහෙන දුරින්...



 “කැමරාවක් සහ සිනමාත්මක අදහසක් ....” 
මම හිතන්නේ ටිකක් එහාට කතාකලයුතු කාරණයක්.

පරිඝනක සජීවීකරණය හැරුනාම, චිත්‍ර ශිල්පියාට පින්සල, කවියාට පැන්සල වගේ තමයි සිනමා ශිල්පියාට කැමරාව. ඔහු සිය කතාව කියන්න පාවිච්චි කරන මෙවලම  කැමරාව. එහි ඇස තිරය ඉදිරිපිට වාඩිවෙන කෙනා වෙනුවෙන් රූප දකිනවා. නළු නිළියන් , ආලෝකය , පසුතල , හඩ, සංස්කරණය  ඊලග කාරණා ... කැමරා කාචයෙන් කරන  රූපය ප්‍රති නිෂ්පාදනය කිරීම තමයි වැදගත්ම වැඩේ...


ඒ වගේමයි සිනමාත්මක අදහස...


ඔබ කරන්නේ සිනමාව නම්, ඔබ ලග ඇති අදහස ඊට‍ සුදුසු එකක්ම විය යුතුයි... 





සමහර කෙනෙක් කියනවා “ ඒක හොද ආදර්ශයක් සමාජයට දෙන චිත්‍රපටි යක් ” කියලා. ඊට පස්සේ පාසල් දරුවෝ ටිකයි , ගමේ සමිති වල අම්මලා තාත්තලා ටිකයි චිත්‍රපටි වන්දනාවේ ගෙනියනවා. නමුත්  චිත්‍රපටිය කින් ආදර්ශ දෙන්න ගියොත් කලාවේ අරමුණු මග හැරෙන්න පුළුවන්. කලාවේ අරමුණ වෙන්නේ රසවින්දනයක් ලබාදීම විතරයි. එය දුක , සතුට, ශෝකය,භීතිය, රාගය , ත්‍රාසය ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ලග තිබෙන අදහස පිනිවිඩ ලබාදීමෙන් තොර එකක් වෙනවා නම් අගෙයි... මොකද පණිවිඩ බෙදා හරින එක තැපැල් කරුවාගේ මිසක් සිනමා කරුවාගේ රාජකාරිය නෙමෙයි..

ඇතම්  දහස් වටින අදහස් තියනවා, එය සමහර විට  කවියක් සදහා සුදුසු විදිහක එකක් . එවැන්නක්  මොනම් ආකාරයකට වත්  චිත්‍රපටයකට හරියන්නේ නෑ... සමහර ඒවා කෙටි කතාවකට හරි. කවියට කොහෙත්ම බෑ. ඒ වගේමයි සමහර අදහස් චිත්‍ර පටයට හරි. එය කෙටිකතාවකට , නව කතාවකට හරියන්නේ නෑ… ඒ නිසා ඔබ බලාපොරොත්තු සහගතව හිතේ තියාගෙන ඉන්න අදහස හරියටම චිත්‍රපට අදහසක්ද යන්න පරෙස්සමට විග්‍රහ කර ගන්න... එය චිත්‍රපට අදහසක් නෙමෙයි නම් හරියන තැනකදී පාවිච්චියට අරන් තියන්න.

(බහුතරයක් අපේ  චිත්‍ර පටි වලට ගෙනත් තියන බොහෝ  අදහස් , චිත්‍රපට වලට තියා කවිබණ කැසට් එකකට වත් හරි නැති ඒවා ...)

එනිසා ඔබ ලග තියෙන අදහස හරියටම සිනමාවට හරිද ..? බලන්න. එවැන්නක් තියනවා නම්,


අපි චිත්‍රපටියක් හදමු. 

සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ මිල අධික කටයුතු ලෙසයි සැලකෙන්නේ.    කතාවට කියන්නේ ඒ සඳහා “ හමුදාවක් සහ බැංකුවක් ” අවශ්‍ය බවයි. නමුත් “ Low Budget සහ  No  Budget ” යනුවෙන් පවතින සම්මතයන් දෙකකුත් මිල අධික ප්‍රධාන ධාරාවට අමතරව පවතිනවා. ඒ දෙකටත්  ලෝකයේ සැළකිය යුතු තරම් හොද ඉඩක් තියනවා. ඒත් එක්කම ඩොග්මේ සිනමාව, ගරිල්ලා සිනමාව, ඇන්ත්‍රෝලොජි සිනමාව වගේ සම්ප්‍රදායන් ගැනත් හොයලා බලන එක සිනමාකාර  හීනයක් තියෙන කාට උනත් වටිනවා.

Low Budget ,  No  Budget , High Budget  මොනවා උනත් අන්තර්ගතය - ලාභ, දුප්පත් එකක් නම් තව දුරටත් ඔබ චිත්‍රපට කරුවෙක් වෙන්නේ නැහැ. 




සිනමා කරුවා මොකද කරන්නේ...?

සකලවිධ හල හැප්පීම් එක්ක සිනමා කරුවා කවුද කියන එක ටිකක් හිතා බැලීම සුදුසුයි.
ඔහුගේ අදහස් ලෝකයේ තමයි චිත්‍රපටිය මුලින්ම තැනෙන්නේ. කතාවේ ඉන්න චරිත පණ ලබනවා. අදාළ  පසුතල වල , උචිත ඇදුම් ආයිත්තම් එක්ක ජීවත් වෙනවා. චිත්‍රපට කතාවට හෝ සිද්ධි වලට අදාළ කොන්දේසි එක්ක. දුම්රිය වල , පාලු වීදිවල ඇවිදිනවා. දුක් වෙනවා , සතුටු වෙනවා, හැලහැප්පීම් වලට මුහුණ දෙනවා.වෙනස් වෙනවා........
අන්තිමට ඔහු තම මනස් ලෝකයේ පෙරලි කරපු චරිත- සිද්ධි තම ශිල්පීන් එක්ක ප්‍රතිනිර්මාණය කරනවා. සුදුසු පසුබිම් වල, කැමරා, ආලෝක උපකරණ, මිනිස් ශ්‍රමය එක්ක... අන්න්තිමට දර්ශන කොටස් ගොනු කරනවා. සංස්කරණ උපකරණ පාවිච්චි කරමින්. පසුබිම්  හඩ එකතු උනාම එය සම්පූර්ණයි. බලන කෙනා ඉන් රසවින්දනයක් ලබනවා නම් එය පරිපූර්ණයි. එහෙම එක පේලියකකට ලේසියට කිව්වට ඒක සංකීර්ණ ක්‍රියාවලියක්.  

එනිසා ,
පුංචියට පටන් ගන්න...

ආරම්භයක් විදිහට හොදම ක්‍රමය තමයි පොඩියට පටන් ගැනීම. කෙටි චිත්‍රපටිය කින්. 


කෙටි චිත්‍රපටය යනු..... 

බ්ලොග් අඩවියකින්ම විස්තරයක් හමුවුනා.
මෙන්න ලින්ක් එක... 

( උපුටා ගැනීම - regret බ්ලොග් ලිපියකින් / Manoj Dharmawardhane  ) 



කැමරා භාවිතය, ආලෝක කරණය, අධ්‍යක්ෂණය ඔය හැම එකටම ලෝකයේ පිළිගත් සම්මතයන් පවතින බව ඇත්ත. නමුත් ඔලුවේ සිනමාත්මක අදහසක් තියනවා නම් ඒ ගැටළු සීරුවට විසදගන්න පුළුවන්.

ඔය සිනමාවේ කතාවක් කියන සම්මත පිළිවෙල. එහි එන කුඩාම ඒකකය shot . එය  ලිහාගන්න පුළුවන් විදිහක් තියනවා. CCTV කැමරාව පාවිච්චි කරලා .... 

කැමරාව බලාගෙන ඉන්න අතර ඒ ඉස්සරහ දේවල් සිද්ධ වෙනවා. බැංකුවට සෙල්ලම් පිස්තෝල අරන් ඇවිත් කවුන්ටරේ ඉන්න ගෑනු ළමයා බය කරලා සල්ලි අරන් යනවා..... ඒ සිද්ධ වුනු විදිහ. ඊ ලගට අපි එය සිනමාවට හරියන විදිහට සිද්ධ කරනවා. එතකොට ....,

අපි CCTV කැමරාව ගලවලා අතට ගන්නවා. 

දොරටුවට ඇතුලෙන් අල්ලගෙන ඉදලා මංකොල්ල කන කෙනාට දොර ඇරගෙන ඇවිත් සාමාන්‍ය ගනුදෙනු කරුවෙක් වගේ කැමරාව පහු කරගෙන යන්න කියනවා. (අපේ පලවෙනි Shot එක හරි.)

කවුන්ටරයට කිට්ටු තැනක CCTV කැමරාව බිමින් තියනවා. මංකොල්ල කරුවට රූපරමුට ඇතුල්වෙලා කවුන්ටරේ පැත්තට     යන්න කියනවා.   (දෙවැනි shot එක) 
බලන කෙනාට ( ප්‍රේක්ෂකයාට  ) එන කෙනා ගැන දැන් විශේෂයක් තියනවා ... උසට උසේ අමුත්තෙක්  කැමරාව පහුකරගෙන යනවා. සෘජු තීරණයක් සහිතව කල්පනා බරව. ඒකෙ විදිහ රගපාන කෙනාට අනුව වෙනස් වෙනවා .ඒ හැම අවස්ථාවකම , එය ඔබට හරියන විදිහට වෙනස් කරගන්න ඔබට පුළුවන්..

කැමරාව කවුන්ටරයට මෙපිටින් තියනවා. ගෑනු ළමයාගේ මුහුණේ ඉරියවු සමීපව පෙනෙන ගානට ... පටි ගත කරන අවස්ථාවේ කියනවා තමන්ගේ කාර්යයේ තත්පර ගානක් ඉදලා ගනුදෙනු කරුවා දිහා බලන්න කියලා.... බලාගෙන ඉන්න ඕනෑ කාලය තත්පර ගාන, ස්වරූපය සියල්ල පිළිබද තීරකයා ඔබ, සිනමා කරුවා වශයෙන්..... (ඒ තුන්වෙනි shot එක) 

කැමරාව කවුන්ටරයට ඉහළින් කෙලින්ම එල්ල කරනවා.. ටිකක් ලංකරලා , මංකොල්ල කරුවාගේ අත මුදල් ස්ලිප් එක එක්ක හරියටම රූප රාමුවට එන විදිහට  ඇතුල් කරන්න කියනවා. වෙවුලන ඇගිලි එක්ක. (හතර හරි )

කලින් ප්‍රමාණයට වඩා කැමරාව කවුන්ටරේ ඉන්න ගෑනුළමයාට කිට්ටුවෙන් තියනවා (තුන්වෙනි shot එක).  ස්ලිප් එක ගන්න අත දිගුකරන කොටම බය වෙන්න කියනවා . අමාරුවෙන් කෙළ ගිලින ගමන් තව දුරටත් බයෙන් සිලිප් එක තියන තැන බලා ඉන්න කියනවා....... (Shot අංක 5)

දිගට නොගියට Shot එකින් එක ඇමිණිලා චිත්‍රපටය ගෙතෙන විදිහ තරමක් පැහැදිලි ඇති.......





මහා සිනමා කරුවෙක් වෙන හීනය පැත්තට ගමන පටන් ගන්න හිතන කෙනෙකුට ටෙලිෆෝන් එකේ කැමරාව උනත් සෑහෙනවා, හොඳ ආරම්භයක් ගන්න. මෙන්න ඊට හොදමසාක්ෂිය.




ඉතින් ,
අපි චිත්‍රපටියක් හදමු....!

Friday, September 23, 2016

කියන්න වදන් නෑ...


කියන්න වදන් නෑ... 






ඔබෙ  දෙතොල් පෙති ලෙහී මැවෙන හසරැල් විලේ
හද දියව ගලා යයි - රැලිලමින් සැලී සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිත වෙයි
සසර සැරි  සරන තෙක් ඔබ මගේ .. ඔබ මගේ.....

රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
          සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක


මේ සැරේ සින්දුවකින් පටන්ගන්න ඕනේ කියල හිතනකොට ඔලුවට ආවේ ඔය සින්දුව...
(ඒකෙ “ එයා ” ඉන්න නිසා වෙන්න ඇති ...)
හැබැයි තව ටිකක් එහාට ගියොත් සින්දුවේ තියන්නේ විරහවක් - දුරස් වීමක් .... ඒ නිසා මම හිතාමතාම ඒ කොටස මග අරිනවා . එතකොට සසර සැරි සරණ තෙක් ඔබ මගේ .. ඔබ මගේ...



ඔය සින්දුව ඇතුලේ තියන්නේ කෙනෙක් ගේ සිතුවිල්ලක් .. තව විදිහකට කියනවනම් කෙනෙක් ගැන හිතන එකක්. කැමති නම් සිතිවිලි මවමින්  කාලේ නාස්ති නොකර  “ඔබ” ඉදිරි පිටට ගිහින්, සද්දෙට  “ සසර සැරිසරන තෙක් ඔබ මගේ .. ඔබ මගේ ” කියල කියන්නත් පුළුවන්. සද්ද නැතුව කඩදාසියක ලියලා දෙන්නත් පුලුවන්. 

සන්නිවේදනය  පැත්තෙන් කතා කරනකොට, එතන මුණගැහෙනවා සන්නිවේදන ආකාර 03 ක්.

01.   සිතන එක - අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
02.   ඉදිරිපිටට ගිහින් ඔබ මගේ කියන එ‍ක - අන්තර් පුද්ගල  - වාචික 
03.   කඩදාසියක ලියලා දෙන එක -  අන්තර් පුද්ගල සන්නිවේදනය - ලිඛිත





සන්නිවේදනය කියන්නේ....

මට හිතෙන හැටි ...

වර්ධනය හොද විදිහට වෙනවා නම් - සංවර්ධනය , ප්‍රයෝග හොද විදිහට වෙනවා නම් - සම්ප්‍රයෝග , නිවේදනය හොදට වෙන එක - සංනිවේදනය.

පොතේ තියන හැටි ...

යමෙක් , යම් පණිවිඩයක් , යම් මාධ්‍යක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීම ”..... “ එකිනෙකා අතර තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීම” සන්නිවේදනය නම් වේ........





විෂයක් ලෙස ආරම්භය...


එය ලෝකයට අලුතෙන්ම එකතු වුනු සමාජ ශාස්ත්‍රයක් ලෙසයි සැලකෙන්නේ. ආරම්භය ඇමෙරිකාව තුල සිදුව තිබෙනවා. වාග්විද්‍යාව, ඉංජිනේරු ශාස්ත්‍රය , සමාජ විද්‍යාව, යාන්ත්‍රික විද්‍යාව, රසායන විද්‍යාව, ඉලෙක්ට්‍රොනික් ........ විෂයන් රැසක දායකත්වයෙන් සන්නිවේදනය විෂයට අවශ්‍ය පදනම සැකසී තිබෙන බව දැකිය හැකියි.



ඇතුලතින්ම සිතීම

සන්නිවේදනය සිදුවන ආකාර අනුව එය වර්ග කිහිපයකට වෙන් කර තිබෙනවා.


01.අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය - Intrapersonal Communication
02.අන්තර් පුද්ගල සන්නිවේදනය - Inter Personal Communication
03. සමුහ සන්නිවේදනය - Group Communication
04. ජන සන්නිවේදනය - Mass Communication


Interpersonal Communication

මුලින් විස්තර කල පරිදි  සියලු - සෙසු සන්නිවේදන අවස්ථා වල ආරම්භය වන්නේ, අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය. සරලවම තමා තමා සමග සන්නිවේදනය කිරීම යැයි ඊට  කිව හැකියි. ඒ සඳහා අවශ්‍ය මෙවලම් සැපයෙන්නේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ. ගිනි අගුරක් පෑගුණු විටෙක කකුල සැනෙකින් පැත්තකට ගන්න එක අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනයට දිය හැකි හොද උදාහරණයක්. (පණිවිඩය  සහ ප්‍රතිචාරය දෙකම එක්ක)



Inter Personal Communication

දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනය පිළිබඳව මෙහිදී සලකා බැලෙනවා. මුහුණට මුහුණ ලා කෙරන සන්නිවේදනය මෙහි ප්‍රධාන අවස්ථාවක් වෙනවා. සන්නිවේදන ක්‍රියාවලිය ඉදිරියට ගමන් කරන්නේ ප්‍රතිචාර එක්ක. Inter Personal Communication වලදී ප්‍රතිචාර එක්ක , සන්නිවේදන ක්‍රියාවලිය ඉදිරියට යන්නට තියන ඉඩකඩ බොහොම පුළුල්. 


Group Communication

පිරිමින් අවන්හලකට ගොඩවෙන්නේත් , කොමල කරන මුකුළු පාන ගැහැණුන් ලිද ලගට රැස්වෙන්නේත් බොහෝවිට  මේ සන්නිවේදන ස්වරූපය සම්පූර්ණ කරන්න. එය  මානව අවශ්‍යතාවක් ද වෙනවා. කුඩා කණ්ඩායමක් එකතුවී අදහස් හුවමාරු කරගැනීම සමූහ සන්නිවේදනය ලෙස නම් කෙරෙනවා. පොත පතේ සදහන් වෙන්නේ ප්‍රමාණය 20 කට නොවැඩි පිරිසක් ලෙස. පොතේ ප්‍රමාණය නැතිව හිතනවනම් බසයක් එනකං හෝල්ට් එකේ එකතුවන දෙතුන් දෙනාත් , සංගීත සංදර්ශනයක් නරබන්න පිට්ටනියකට එකතු වුනු පිරිසත් සම්පූර්ණ කරන්නේ සමූහ සන්නිවේදනය..



Mass Communication

ඉදිරියේ නොසිටින, නොපෙනෙන වගේම, ගණන් කරන්නට නොහැකි තරමේ විශාල පිරිසක් වෙත පණිවිඩයක් යොමු  කිරීම ජන සන්නිවේදනය වෙනවා. එහි දී යන්ත්‍ර සූත්‍ර මෙවලම් භාවිතය  අනිවාර්ය කොන්දේසියක් වෙනවා. එසේ නොමැතිව අති විශාල ග්‍රාහක පිරිසකට එකම පණිවිඩය සන්නිවේදනය කරන එක ප්‍රායෝගිකව කල නොහැක්කක්. මුද්‍රිත  හා ඉලෙට්‍රොනික් මාධ්‍ය වශයෙන් ජන සන්නිවේදන මාධ්‍ය ආකාර දෙකකින් දැකිය හැකියි.


ප්‍රතිපෝෂණය..

සන්නිවේදනය ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය තල්ලුව සැපයෙන්නේ ප්‍රතිචාරය ඔස්සේ . ප්‍රතිචාර නිසා සන්නිවේදකයා ප්‍රතිපෝෂණය ලබනවා. එහි ප්‍රථිපලය ලෙස තව පණිවිඩයක් බිහිවිය හැකියි. එය නැවත නැවත සිදුවන චක්‍රයක්.
ඔබ Hiකියල යවන SMS පණිවිඩයට Hi කියල ප්‍රතිචාරයක් ලැබෙනවා ...   එයින් ප්‍රතිපෝෂණය ලබන ඔබKohomada කියල යවනවා... Hodin innawa ඔබ ප්‍රතිපෝෂණය ලබනවා... SMS වැඩේ දිගටම යනවා ... 

(අවුරුදු ගානකට පස්සේ  දරුවා ඉස්කෝලේ දාගන්න සම්මුඛ පරීක්ෂණ පෝලිමේ ඉන්නවා. ප්‍රතිපෝෂණයේ ප්‍රතිපල)




සන්නිවේදනය හරි යාම ...




“සන්නිවේදනය” සම්පූර්ණ වෙන්න කොටස් පහක දායකත්වය ඊට‍ අවශ්‍ය බවයි - ඒ  පිලිබඳ විද්වතුන්ගේ අදහස. එය මෙසේ පෙළගැස්විය හැකියි.

01.   සන්නිවේදකයා
02.   පණිවිඩය
03.   මාධ්‍ය
04.   ග්‍රාහකයා
05.   බලපෑම

යමක් ප්‍රකාශ කරන පුද්ගලයා සන්නිවේදකයා. ඔහුට ප්‍රකාශ කරන්නට, පෙන්වන්නට, දනවන්නට, අඟවන්නට  අවශ්‍ය දේ පණිවිඩය . එය යවන්නට භාවිතා කරන වාහකය - මාධ්‍ය ලෙස හදුන්වනවා ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය, සගරා,පුවත්පත් එබඳු වාහක.  

වචන, සංකේත, අකුරු වගේම චිත්‍රය, චිත්‍රපටය, කවිය ආදියත්....

ග්‍රාහකයා යනු පණිවිඩය ග්‍රහණය කරන තැනැත්තායි. ගුවන්විදුලියට සිටින්නේ ශ්‍රාවකයෙක්. රූපවාහිනියට සිනමාවට, නාට්‍යට, ඡායාරූපයට  ප්‍රේක්ෂකයෙක් ... පුවත් පතට, සඟරාවට පාඨකයෙක් ... දේශකයෙකුට , කවියෙකුට, කතාබහක නිරත වන පොඩි දරුවෙකුට, දුරකතන කතාවක සිටින කෙනෙකුට සිටින්නේ අසන්නෙක්...

බලපෑම යනු සන්නිවේදකයා ග්‍රාහකයා වෙත පණිවිඩය යැවීමෙන් බලා පොරොත්තු වූ දෙයයි. සමහර පණිවිඩ බලාපොරොත්තු වන බලපෑමෙන් තොරව නිම වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සන්නිවේදනය සම්පූර්ණ වෙන්නට නම් බලපෑම , සාධකය සපිරෙන්නට අවශ්‍යයි. එය SMS පණිවිඩයේ දී මෙන් ධන හෝ සෘණ විය හැකියි.





පෙළබෙන්නෝ සහ පොළබවන්නෝ

සන්නිවේදනයේ අරමුණු ලෙස කරුණු කිහිපයක් පොත-පතෙහි සඳහන්. ඒ ,
(අ )  තොරතුරු සැපයීම
(ආ)  අධ්‍යාපනය ලබා දීම
(ඇ)  විනෝදාස්වාදය ලබාදීම
(ඈ )  පෙළඹවීම

වශයෙන්...

කුමන සන්නිවේදන අවස්ථාවක් සැලකුවත් එය ඔය අවස්ථා වලින් එකකට අයත් වනවා.  චිත්‍ර පටයක්, ඡායාරූපයක් , වෙළඳ ප්‍රචාරක දැන්වීමක්  මියුසික් වීඩියෝවක් විතරක් නෙවෙයි, වැටට උඩින් එබීගෙන දොඩන ඕපාදුපයක්, පාරේ කුණු දමන එක ගැන ගහන පෙත්සමක් උනත්.



විධිමත් සහ අවිධිමත් සන්නිවේදනය

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය ( තමා තමා සමග )  සිට සමුහ සන්නිවේදනය තෙක් සන්නිවේදන අවස්ථා වල බහුල ස්වරූපය වන්නේ අවිධිමත් ස්වරූපයක්. කලින් සැලසුම් කල පිළිවෙලකට සන්නිවේදන කාර්ය සිදු වෙන්නේ බොහෝවිට සමූහ සන්නිවේදනය සහ ඉන්  එපිටදී. ඊට හේතුව, පෙර  අවස්ථාවල දී ග්‍රාහකයා සන්නිවේදකයා (යවන්නා , ලබන්නා) ඉදිරිපිට රැදී සිටීම. එවිට දක්වන ප්‍රතිචාර වල ස්වරූපය සමග  පණිවිඩයේ ඊලග අවස්ථාව බොහෝ ඉක්මනින් නැවත නැවත වෙනස් වනවා.

ජන සන්නිවේදනයේදී සැමවිටම වාගේ විධිමත් ස්වරූපයක් අවශ්‍ය වෙනවා. ග්‍රාහක ප්‍රතිචාර ලැබෙන්නේ තරමක් ප්‍රමාදව. ඊටත් වඩා එය විශාල කර්මාන්තයක්. ව්‍යාපාරයක් . සංකීර්ණ සන්නිවේදන ස්වරූපයක්. වෘත්තීය කාර්යක් සහ වගකීමක්.....



ඇසි -දිසි ..

සන්නිවේදනය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය වශයෙන් ද කොටස් දෙකකින් දක්වනවා. සයිරන් හඬ ඇහෙනකොට පාර ඉඩ ලැබෙන්නේ ශ්‍රව්‍ය සන්නිවේදනය නිසා. කාලයක් තිස්සේ බලා පොරොත්තුව හිටපු කෙනෙක් එකපාරටම අලුත් රත්තරන් මුදුවක් දාගෙන ආවොත්, ශරීරය සීතල වෙනවා දැනේනේ...! (දෘශ්‍ය සන්නිවේදනය නිසා)..,  කළුවට හුරු රතු එක්ක, දුඹුරු පාට පෙණ බුබුළු දැක්කම කොකා කෝලා මතක් වෙන්නේ  දෘශ්‍ය සන්නිවේදනය නිසා... නිවෙසින්  බැහැර තැන්වලදී විදේශ රටකදී උනත් නිවැරදිව වැසිකිලි - කැසිකිළි සොයාගන්නේ දෘශ්‍ය සන්නිවේදනය නිසා.




වාචික - අවාචික...

සමහර දේවල් වචනයෙන් කියනවා. සමහරු හැගීම් බර වෙනවා. අත පය ඒ මේ අත වනනවා. ඇස් නටවනවා. නියපොතු හපනවා. නළලට දාඩිය දානවා...

වචනයෙන් හැර අනික් සියලු දේ නිර්වාචික සන්නිවේදනය. 

දෙදෙනෙක් අතර සිදුවන සන්නිවේදනයේ දී වචන වලට වඩා හැගීම් වලින් අදහස් ප්‍රකාශ වනවා වැඩි බවයි පිළිගැනීම. අවාචික සන්නිවේදනය වාචික සන්නිවේදනයේ සීමාවන් ඉක්මවනවා. ඒ නිසයි භාෂාව හරි හැටි නොදැන උනත් හින්දි චිත්‍රපට බලන්නේ.


සුවද, ස්පර්ශය ආදියත් අවාචික සන්නිවේදන ලෙස සලකන්නට පුළුවන්.





ඡායාරූපය , සිනමාව සහ රූපවාහිනිය...


සන්නිවේදන විෂය පැත්තෙන් සලකාගෙන බලන කෙනෙකුට ඒවා ජන සන්නිවේදන මාධ්‍ය . ඒ සඳහා අවශ්‍ය පණිවිඩ , යාත්‍රික ප්‍රතිනිෂ්පාදන කාර්ය සඳහා කැමරා ,ආලෝක උපකරණ , පටල පටි හෝ හාර්ඩ් ඩිස්ක් ආදී අපමණ උපකරණ භාවිතා වෙනවා. සන්නිවේදකයා සන්නිවේදනයේ අරමුණු සපුරා ලන්නට වෙහෙසෙනවා... ඒ නිසා මම එළබෙන සතියේ අලුත් බ්ලොග් එකක් ලියනවා..