Thursday, September 15, 2016

පාට පාට ලෝකයක් ..!


පාට පාට ලෝකයක් ..!





රබර් වත්තක් අයිති සල්ලි-බාගේ තියෙන මිනිහෙක් හිටියලු . රත්නපුර පැත්තේ . මිනිහට ඕනේ උණාලු තමන්ගේ කාර් එක තමන්ටම පදවන්න රියදුරු බලපත්‍රයක් ලබාගන්න. පෙර පුහුණු වීම් අවසානයේ මෝටර් රථය පරීක්ෂක වරයා ඉදිරියේ පදවා පෙන්වන අවස්ථාවත්  ආවා...  
ඔන්න ඉතින් අපේ මිනිහා සූර වීර සෙයියාවෙන් පරීක්ෂක ඉදිරියේ වාඩිවෙලා ඉන්නවා. ඒ අතර තුර පරීක්ෂක වරයා ප්‍රශ්නයක් අහනවා...
පරීක්ෂක වරයා - හරි මට කියන්න බලන්න
                           කොළ වැටුනාම මොකද කරන්නේ ...
අපේ මනුස්සයා එකෙන්ම උත්තර  දෙනවා.
අ .ම - කිරි කපන එක නවත්තනවා ...
පරීක්ෂක වරයා අන්දුන් කුන්දුන්...

පරීක්ෂක වරයා  දැන් පෙන්ෂන් ගිහින් , හැබැයි තාම කල්පනා කරනවලු ට්‍රැපික් ලයිට් වල කොළ වැටුනාම කිරි කපන එක නවත්වන්නේ ඇයි කියලා....  

කතාව එච්චරයි , (සිරසට “ යර්ස් බොස් ” එඩිට් කරනකොට හිත හිත හිනාව දැම්මට මෙතන එහෙම බෑනේ... හිනා ගියේ නැත්නම් අගට හිනාවක් දාගන්න...)


කොහොම නමුත් මේ සූදානම COLORS   පෙන්නන්න ....


ඇත්තටම රබර් කොළ කොළපාටට පෙනෙන්නේ කොහොමද .........?

ඉර එලිය රබර් පත්‍ර වලට වැටෙනවා. එහි සියලු වර්ණ පත්‍ර වල කොළ පැහැය විසින් උරාගෙන , කොළ පාට විතරක් පරාවර්තනය කරනවා. ඇස හරහා මොලය විසින් රබර් පත්‍ර වල කොළ පැහැය හදුනා ගන්නවා.

එතකොට වදමලේ රතු පාට ...?
ඉර එලිය මලට වැටෙනවා . සෙසු වර්ණ සියල්ල උරා ගන්නවා, රතු විතරක් පරාවර්තනය කරනවා. ඇස හා මොලය රතු හදුනා ගන්නවා.

ඉර එලිය වර්ණ ගොඩක එකතුවකි...!
ඉර එලිය සුදු පාටයි. සුදු කියන්නේ වර්ණ රැසක  එකතුවක්.
එතකොට...,




නිල් +කහ +රතු , එකතුව කළු නේ....


ඒ ද්‍රව්‍ය වර්ණ. සාමාන්‍ය තීන්ත ඉහත ආකාරයට සම ප්‍රමාණ වලින් මිශ්‍ර කළොත් ප්‍රතිපලය කළු තමයි. නමුත් ආලෝකයේ වර්ණ සංයෝජනය ඊට වෙනස්. එහි සුදු කියන්නේ වර්ණ සියල්ලේ එකතුව...


කොහොමද පිළිගන්නේ...?

වීදුරු ප්‍රිස්මයක් ගන්නවා. සුදු ආලෝක කදම්භයක් එයට වට්ටනවා. අනික් පැත්තේ දේදුන්නේ වර්ණ වෙන්වී පෙනෙනවා. එසේ වෙන් වුනු වර්ණ වලට එල්ල කර, ආපසු අනික් පැත්තෙන් ප්‍රිස්මයක් තැබුවොත් සුදු ආලෝක කදම්බයක් නැවත පිට වෙනවා.





එයින් පැහැදිලියි හිරු එළියේ සුදු ආලෝකය තුළ සෙසු සියලු වර්ණ අඩංගු බව.


ප්‍රිස්මය නිසා එහෙම වෙන්නේ ඇයි...?

ලෝකයේ පවතින සියලුම ශක්තීන් තරංග ආකාරයෙන් පවතින බව පිළිගැනෙනවා. ඊට  ඉතා විශාල පරාසයක තරංග  අයත් වනවා .

ආලෝකය කියන්නෙත්  ශක්තියක් . එය ඇසට ගෝචර වනවා.  විශාල තරංග පරාසයෙන් එය තා කුඩා කොටසක්.


උදෘතය - අන්තර්ජාලයෙන් 




ඇස විසින් ග්‍රහණය කරගත හැකි තරංග කොටසට විද්‍යුත් චුම්භක වර්ණාවලිය හෙවත් දෘශ්‍ය ආලෝකය කියනවා. තරංගයේ දුර අනුව වර්ණ එකින් එක වෙනස් වනවා. එහි දුර මැනිය හැක්කේ නැනෝමීටර් වලින් (nm)


වයලට්  380-450 nm
නිල්      450-495 nm
කොළ   495-570 nm
කහ      570- 590 nm
තැඹිලි   590- 620 nm
රතු       620- 750 nm



ආපසු ප්‍රිස්ම කතාවට....


ප්‍රිස්මය කියන්නේ වීදුරු කුට්ටියක්. සාමාන්‍යයෙන්  ආලෝක තරංග, එක් මාධ්‍යකින් තව මාධ්‍යයක් වෙත පිවිසීමේදී යම් ප්‍රමාණයක හැරවීමකට ලක් වනවා. ඒ අනුව වාතය හරහා එන ආලෝක තරංග වීදුරුව හරහා ගමන් කිරීමේදී යම් හැරීමකට ලක් වනවා . ( වාතය විරලතර මාධ්‍යක් සහ වීදුරුව ගහනතර මාධ්‍යක් වනවා) ඒ අනුව  ප්‍රිස්මයේ දී ආලෝක තරංග හැරෙන්නේ එකිනෙකට වෙනස් කෝණ වලින්. ඒ නිසා දේදුන්නේ වර්ණ සංයෝජනය ප්‍රිස්මය නිසා  දැකිය හැකි වෙනවා.



උදෘතය - අන්තර්ජාලයෙන් 


කලු සුදු...


කලු කියන්නේ නරක සුදු කියන්නේ හොඳ . සමාජ සම්මතය එහෙමයි.  ( ඒකනේ ප්‍රියන්තගේ සඳ විනිවිද ට - “ කලුත් නැති සුදුත් නැති  චරිත විනිවිද දකින” කියල තේමා පාඨයක් දැම්මේ )


හැබැයි 
ඇස, කලු-සුදු දකින විදිහ තරමක් වෙනස්.

කුඹුරේ සුදු කොකෙක් හිටගෙන ඉන්නවා. ඉර එලිය කොකා මත වැටෙනවා...වැටෙන ආලෝකය සියල්ල පරාවර්තනය වී ඇස වෙත එනවා. ඇස සුදු හදුනා ගන්නවා... ( “සුදු” පතිතවන ආලෝකය සියල්ල පරාවර්තනය කරනවා )

එතකොට කලු කොකෙක් හිටියොත්...ඉර එලිය කලු කොකා මත පතිත වෙනවා. ඉන් සියලු ආලෝකය උරා ගන්නවා. ඇසට කිසිවක් පරාවර්තනය වෙන්නේ නෑ. අදුරු පැල්ලමක් ..! ඇස හරහා මොළය  එය “කලු” ලෙස හදුනා ගන්නවා.කොන්ඩේ කලුවට පෙනෙන්නෙත්  එහෙම , කපුටා කලුවට පෙනෙන්නෙත් එහෙම...තාර පාර කලුවට පෙනෙන්නෙත් එහෙම . අගුරු කලුවට පෙනෙනෙත් එහෙම.  (වැටෙන ආලෝකය සියල්ල උරා ගන්නේ කලු )


සාදා එවීම සහ හරවා එවීම...

මිනිස් ඇස වර්ණ දකින ආකාරය පැහැදිලියි... හරවා එවන ආලෝකය ඇස විසින් ග්‍රහණය කරගැනීම.කලු නම් එසේ හරවා නො එවීම. එමෙන්ම ආලෝකය නිෂ්පාදනය කරන වස්තු ද විශාල ප්‍රමාණයක් අවට ලෝකයේ තිබෙනවා. හොදම - ලොකුම උදාහරණය සූර්යයා .. කෘතීම ප්‍රභව විදිහට විදුලි බුබුළු, ෆ්ලොරසන්ට් බට  මෙන්ම, ඉටිපන්දම් දැල්ල උනත් සළකන්න පුළුවන්. රූපවාහිනී හා පරිඝනක තිරයත් ආලෝකය නිපදවන උපකරණ. ඒ සඳහා ඒ තිර මත කුඩා ආලෝක විමෝචන උපකරණ විශාල ප්‍රමාණයක් සවිකර තිබෙනවා.


ආලෝකයේ මූලික වර්ණ...





රතු ,කොළ ,නිල් ආලෝකයේ මූලික වර්ණ ...ඒවා විවිධ ප්‍රමාණ වලින් මිශ්‍ර කිරීමෙන් වර්ණාවලියේ වර්ණ වලින් අතිවිශාල ප්‍රමාණයක් නිපදවා ගත හැකියි. ද්‍රව්‍ය වර්ණ වලට තරමක් වෙනස් ආකාරයකටයි මෙහි වර්ණ සංයෝජනය සිදු වෙන්නේ. රතු , කොළ, නිල් වල එකතුව වන්නේ සුදු...



ඒ අනුව, කොළ රතු එකතුවෙන් කහ වර්ණයත් , කොළ නිල් එකතුවෙන් සයන් වර්ණයත් , නිල් රතු එකතුවෙන් මැජෙන්ටා වර්ණයත් , රතු කොළ එකතුවෙන් කහ වර්ණයත් සාදා ගත හැකියි. සයන් මැජෙන්ටා කහ කහ වර්ණ ආලෝකයේ ද්විතික වර්ණ වෙනවා. ඊට හේතුව ඒ වර්ණ මූලික වර්ණ දෙකක්  එකතුවෙන් හැදී තිබීම නිසා.


කෝටි ගණන් පාට පාට....

පරිගණක ආශ්‍රිතව වර්ණ සංයෝග කිරීමේ දී එක මූලික වර්ණයක, වර්ණ අවස්ථා 256 ක් නිරූපණය වන  බව සැලකෙනවා. ( “0” සිට “255” දක්වා අවස්ථා 256 ක් )  මූලික වර්ණවල  මේ අවස්ථා එකිනෙක  මිශ්‍ර කිරීමෙන් වර්ණ මිලියන 16 කට වැඩි ප්‍රමාණයක් ප්‍රති නිෂ්පදයනය කරන්නට හැකියි.  


256 X 256 X 256 = 16,777,216  


ඉතින් ,

R = 255                  G = 255                 B = 255                  = සුදු
R = 255                  G = 0                     B = 0                      = රතු
R = 0                      G = 255                 B = 0                      = කොළ
R = 0                      G = 0                     B = 255                  = නිල්
R = 0                      G = 0                     B = 0                      = කලු


එමෙන්ම ,

එකම වර්ණයේ සමාන අගයන් ශ්‍රේණිය දක්වන්නේ කලු සිට සුදු දක්වා වෙනස් වන අළු වර්ණයේ විවිධ අවස්ථාවන් රැස .  එය ආලෝකයේ දීප්ත තාවය වනවා . 

තේරෙන සිංහලෙන් නම ග්‍රේ ස්කේල් ( Gray scale ) එක .

R = 0                      G = 0                     B = 0                      = කලු
R = 100                  G = 100                 B = 100                  = අළු
R = 150                  G = 150                 B = 150                  = අළු
R = 200                  G = 200                 B = 200                  = අළු
R = 255                  G = 255                 B = 255                  = සුදු


එහෙමනම් කලුත් නැති සුදුත් නැති අලුවට ජීවත් වෙන්න උත්සාහ කරන අතර ,

සෙස්ස පසුවට...

Thursday, September 8, 2016

ආලෝකය විදුලිය බවට හරවනු ලැබේ - 02.


කාගෙන් කොහෙන් හරි සෙලේනියම් මූලද්‍රව්‍ය කොටසකුත් හොයාගෙන කෙනෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේම කියලා වීඩියෝ කැමරාවක් නිෂ්පාදනය කරන්න. ( වෙනවට නෙමෙයි , අනුමානෙට එහෙම හිතමු...) ඒත් තව විසදා ගතයුතු ගැටළු කිහිපයක් ඒ කෙනාට තියනවා. 
ප්‍රධාන වශයෙන්ම අර X-Y පාඩමේ කොටු 9 ඔය වැඩේ ට කොහෙත්ම ප්‍රමාණවත් නෑ. අනික ආලෝකය විදුලිය බවට හැරවීමේ එක්තරා බලාපොරොත්තුවක් වෙන්නේ එය විකාශනය කිරීම. එසැනින් - අති විශාල ග්‍රාහක පිරිසකට. 
එහෙම නම් රටේ ප්‍රධාන ( හෝ  බහුල ) විදුලි සැපයුම සමග ගලපා ගතයුතු එකගතා කිහිපයක් ගැනත් අවධානය යොමුකළ යුතු වෙනවා. තිරයේ දිග - පළල. ඒ පිළිබඳවත් පොදු සම්මතයක් තියෙනවා. නොඑසේ නම් එක එක ග්‍රාහකයා එක එක ප්‍රමාණයේ, විවිධ ස්වරූපයේ රූප දකීවි. එහෙම නම් සෙලේනියම් ටික පැත්තක තියලා මේක කියවලා ඉමු...



01.   දෘශ්‍ය අනුපාතය 

                                   16:9
4:3

අලුත් කරපු නැති ඕනෑම පරණ TV තිරයක   හැඩය ඔබට මතකද ..? එය සමචතුරස්‍ර හැඩයට සමාන හතරැස් එකක්. ඊළගට මෑත කාලේ ජනප්‍රියවුණු LCD, LED, HD රූපවාහිනියේ තිරය, කලින් එකට වඩා දිගටි හතරැස් හැඩයකින් යුක්තයි. අති පුළුල් තිරය වශයෙන් හැදින්වෙන තිරයේ ප්‍රමාණය ඊටත් වඩා දිගටි හැඩයක් සහිතයි..ඒවාට ඒ ඒ හැඩයන් ලැබී තිබෙන්නේ සහේතුකව. සමචතුරස්‍ර හැඩයට ආසන්න ප්‍රමාණය 4:3 ලෙසත් පසුව ජනප්‍රියවුණු LCD, LED, HD වල තිර ප්‍රමාණය 16:9 ත් වනවා. ( වීඩියෝ කැමරාවේ රූප සංවේදකයේ තිරස් සහ සිරස් අනුපාතයන් ද 4:3 හෝ  16:9 වනවා  ) එය සම්මතයක්. සම්මතයට හේතුව වන්නේ ඇසේ දෘෂ්ටි සීමාවන්. තනි ඇසක් දකින රූප රාමුවක ප්‍රමාණය ආසන්න වශයෙන් 4:3 ක්. කැමරා කාචය තනි ඇසකට සමාන උවත්, ඉන් රාමු ගත කෙරෙන රූපය දෑසේම දෘෂ්ටියට සමයි. ඒ නිසා පසුකාලීනව 16:9 අනුපාතය සම්මතයක් ලෙස පිළිගැනුණා. 16:9 යනු ඇස් දෙකෙහි දෘෂ්ටි සීමාවට ආසන්න වනවා.



( 4:3 රූපවාහිනී තිරයේත් 16:9 දකින්නට ප්‍රේක්ෂකයා කැමති උනා. ඒ නිසා ඇතැ‍ම් රූපවාහිනී වැඩසටහන් වල 4:3 තිරය උඩින් යටින් කළු කර භාවිතා කෙරුණා.)  





02.  දෘෂ්ටි අඛන්ඩතාව


                                                                                                    උදෘතය - daviddefino.blogspot.com 

ගිනි පෙනෙල්ලක් රවුමට කරකවා ගිනි වළල්ලක්‌ දැකගත් අද්දැකීමක් ඔබට ඇතයි සිතනවා. රවුමට කරකැවෙන ගිනි පෙනෙල්ල එක්තරා වේගයකදී ගිනි වළල්ලක්‌ව පෙනෙන්නේ ඇයි...?

ඇසේ දෘෂ්ටි විතානය මත වැටෙන පිලිබිබුව පිලිබඳ විස්තර දෘෂ්ටික ස්නායු ඔස්සේ මොලය වෙත ගෙන යනවා . ලැබෙන තොරතුරු මත පදනම්ව මොලය විසින් රූපය තේරුම් බේරුම් කරගන්නවා. මේ සඳහා තත්පරයෙන්  1/10 ක කාලයක් ගතවන බවයි සැලකෙන්නේ. (ඇතම් පොත්වල එය තත්පරයෙන් 1/20 බව සටහන්ව තිබෙනවා.)  යම් හෙයකින් පළමු තොරතුර මොලය වෙත යැවෙන කාලය අතරතුර දෙවන තොරතුරක් දෘෂ්ටි විතානය මත පතිත උවහොත් ඒ පිලිබඳ දත්ත මොලය වෙත යැවීම අඩාල  වෙනවා. ඒ හේතුවෙන්  ඉතා වේගයෙන් කරකවන ගිනිපෙනෙල්ල ගිනි වල්ලක්ව පෙනෙනවා.

සිනමාවේදීත් චලය පෙන්වන්නට භාවිතා කරන්නෙත් ඔය උපක්‍රමය. එහිදී තත්පරයට රූප රාමු 20 ට වඩා වැඩි වේගයක් භාවිතා කිරීම සුමට චලනයක් දකින්නට ප්‍රමාණවත් වනවා . සිනමාවේ එසේ තත්පරයට භාවිතා කරන රූපරාමු ප්‍රමාණය  24 ක්. ඒ පිළිබඳව කලින් කියවුනා . මෙන්න ලින්ක්එක . 





වීඩියෝ කැමරාවේ රූප සංවේදකය මගිනුත් ඊට සමාන රූප රාමු ප්‍රමාණයක් තත්පරයක් මත ස්කෑන් (පරිලෝකනය)  කෙරෙනවා. ප්‍රමාණය තත්පරයට රූප රාමු 25 ක්. ( ලංකාවේ විකාශන ක්‍රමය PAL - B. එහි තත්පරයක් තුළ පරිලෝකනය කෙරෙන රූප රාමු ප්‍රමාණය 25 යි.  )



03.තත්පරයට 15625 ක්..!


රූපරාමුව පරිලෝකනය කෙරන්නේ සංවේදකය මතට සිහින් ඉලෙක්ට්‍රෝන කදම්භයක් විදීමෙන් . එම ඉලෙක්ට්‍රෝන කදම්භය ඉතා වේගයෙන් , අඛණ්ඩව වමේ සිට දකුණට ගමන් කරනවා . එමගින් ආලෝකයට සාපේක්ෂ විදුලිය ධාරාව සකසා ගැනෙනවා. රූපරාමුවක් මත ආලෝක කදම්භය 625 වතාවක් ඒ සඳහා ගමන් කරනවා. පියවි ඇසින් දැකිය නොහැකි අති  විශාල වේගයක් .   

( අද වනවිට ඉලෙක්ට්‍රෝන කදම්භය විදින එක වෙනුවට වෙනත් දියුණු       තාක්ෂණික  ක්‍රම   භාවිතා     වෙනවා. නමුත්  මෙහෙම  යන   එක        “ ආලෝකයයෙන්  විදුලිය හදන හැටි ” පැහැදිලි කරගන්න තරමක් පහසුයි.)



04.      ඔත්තේ ද ඉරට්ටේ ද ...?

(නැවත මතක් කිරීම - ආලෝකය විදුලිය බවට හැරවීමේ එක් අරමුණක් වන්නේ විකාශනය කිරීම යි) 

තත්පරයට රූපරාමු 25 ක දත්ත එකවර විකාශනය කිරීමට තරමක් ලොකු සංඛ්‍යාත පරාසයක් අවශ්‍ය වනවා. එසේ වුවහොත් විකාශන නාලිකා සදහා ලැබෙන්නේ අඩු අවස්ථා ප්‍රමානයක්. 

ඊට යොදාගත් සාර්තක  පිලියමක් වන්නේ   වීඩියෝ කැමරාවේ සෙන්සරය ස්කෑන් කිරීම කොටස් දෙකකට කඩා සිදු කිරීම . ඒ ඔත්තේ සහ ඉරට්ටේ ලෙස . 1,3,5,7,9 සහ 2,4,6,8 වශයෙන් .  එවිට මුලින් කියූ 625 ක්වූ ඉලෙක්රෝන කදම්භය 312 ½ බැගින් වන අවස්ථා 2 කින් සිදු වනවා.


තත්පර 1  = රූපරාමු ( Frames ) 25
රූපරාමු 1 = ක්ශේත්‍ර ( Field ) 2
ක්ෂේත්‍ර 1 = පරිලෝකන රේඛා (Scanning Line) 312 ½
රූපරාමු 1= පරිලෝකන රේඛා (Scanning Line) 625

තත්පර 1  = පරිලෝකන රේඛා (Scanning Line) 15,625




තත්පරයට 15625 ක්..!





05.  25i හා 25p


                                                                                             Interlace Scanning


වීඩියෝ කැමරා සෙන්සරය ඔත්තේ සහ ඉරට්ටේ වශයෙන් අවස්ථා 2 කින් ස්කෑන් කරණ ක්‍රමය හදුන්වන්නේ අතුරු වියු පරිලෝකනය ලෙස . තේරෙන විදිහට නම් Interlace Scanning . ඒ ආකරයෙන් රූප රාමු වලට අදාළ විද්‍යුත් ධාරාව සකසා ගන්නා ක්‍රම වල තත්පරයට රූපරාමු ප්‍රමාණය 25 ක් නම්  25i ලෙස දක්වා තිබෙනවා . එහි 25p ලෙස දක්වා තිබුනොත්...?

ඉරට්ටේ සහ ඔත්තේ වශයෙන් රූපරාමුව ස්කෑන් කරනු ලැබුවේ විකාශනයේ අවශ්‍ය තාව නිසා. නමුත් විකාශනයට නොයන අවශ්‍යතාවක 25p භාවිතා කරන්නට හැකියි. " P " හි අදහස Progressive යන්න.




06.  කළු - සුදු වර්ණ

ආලෝකයට ප්‍රතිසම විදුලිය නිපදවීම ඔස්සේ මෙතෙක් ආවේ ආලෝකය ඇති නැති බව එක්ක විතරයි. සුදු පැහැයේ  සිට අළු පැහැය ඔස්සේ කළු පැහැය දක්වා. එය ආලෝකයේ දීප්ත තාවය යනුවෙන් හදුන්වනවා. ( ආලෝකය තියනවානම් සුදු , නැත්නම් කළු ලෙස )  

එතකොට වර්ණ...........? 




සෙස්ස පසුවට ...

Friday, August 26, 2016

ආලෝකය විදුලිය බවට හරවනු ලැබේ - 01 .


ආලෝකයෙන් විදුලිය .....



ආලෝකය නොමිලේ ලැබෙනවා. හැබැයි විදුලියට ගෙවන්න වෙනවා. ඉර - මම දන්න කාටවත් " රතු බිලක්‌ " එවපු බවට ආරංචියක් තවම  නෑ.... කොහොම නමුත් මේ මුදලක් අතට ගන්න පුළුවන් අලුත් විදිහක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙමනම් ඉතිං අපරාදේ මේක කියවන්න ගන්න කාලේ...මේ  වීඩියෝ කැමරාවේ ක්‍රියා කාරත්වය ගැන පොඩියට කරන පැහැදිලි කිරීමක්...





ඕනෑම වර්ගයක කැමරාවක්  මුළුමන්නින්ම අදුරු කාමරයක්. ආලෝකය ඇතුල්වීම සඳහා ඒ සැමෙකකම  එක් පසෙක කුඩා සිදුරක් තබා තිබෙනවා. ඊට ප්‍රති විරුද්ධ පැත්තේ සිදුරෙන් එන ආලෝකයට එල්ල කරලා  ආලෝක සංවේදී “ යමක් ” තබා තිබෙනවා. හරියටම ආලෝකයේ තියුණු පිලිබිබුවක් සෑදෙන ස්ථානයේ.( ඒ කොන්දේසි කිහිපය සපුරන උපකරණය ට කැමරාව කිව්වට වරදක් නෑ... )


ආලෝකය වෙනුවට පාරජම්බුල කිරණ , උෂ්ණත්වය වැනිදේට සංවේදී කැමරා ද තිබෙනවා .

ආලෝක සංවේදී තලයේ තබා ඇති  “ යම්  දෙය ” හි ක්‍රියාකාරිත්වය අනුව කැමරාව විවිධ නම් ලබනවා. එය ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය තවරන ලද පටල කැබැල්ලක් තැබූ එකක් නම් ඡායාරූප කැමරාවක්. ධාවනය කල හැකි පටියක් සහිත නම් චලන චිත්‍ර හෝ චිත්‍රපට කැමරාවක්...වීඩියෝ කැමරාවේ දී නම් එසේ තබා තිබෙන්නේ ආලෝකය - ඊට ප්‍රතිසම විදුලියක් බවට හැරවියහැකි උපකරණයක්. (නො එසේ නම් ආලෝකය විදුලිය බවට හැරවියහැකි උපකරණය තැබූ කැමරාව වීඩියෝ කැමරාව වේ ..!! ) 


වීඩියෝ කැමරාවේ මේ ස්වරූපය බොහෝදුරට ඇසේ ක්‍රියාකාරිත්වයට සමාන බව කිව හැකියි. 


ඇස...






ආලෝකය විදුලිය බවට පත් කර ගන්නේ ...?


01.     විකාශනය සඳහා
02.   ගබඩා කර තබා ගැනීම සඳහා
03.   වෙනස් කර ගැනීම සඳහා



01.   ආලෝකය ඒ අයුරින්ම තැනකින් තව තැනකට විකාශනය කල         නොහැකියි. (රැහැන් සහිතව උනත් බෑ ) නමුත් එම ආලෝකය         ඊට අනුරූප විදුලියක් බවට පත් කරගත්තාම පහසුවෙන් පුළුවන්.

02. ආලෝකය එය ලෙසින්ම ගබඩා කර තබා ගත නොහැකියි.
      (ඡායාරූප කරණයේදී ආලෝකය, අදුර සහ වර්ණ   රසායනික         ප්‍රතික්‍රියා ලෙස සැලෝලයිඩ් පටි මත ගබඩා කර තැබුණා )

      ආලෝකය  විදුලිය බවට පත්  කරාම ගබඩා කර තබා ගැණීම වඩා    පහසුයි- විවිධයි .

03.   ආලෝකය විදුලිය බවට පත්කර ගැනීමෙන් එය පහසුවෙන් වෙනස් කිරීම් වලට ලක් කරන්නට හැකියි. උදාහරණයක් අවශ්‍ය නම් - සංස්කරණය , ප්‍රයෝග ( Effects ) එකතු කිරීම වැනි දේ... රසායනික පටල පටි භාවිතා කරන සිනමාවේ දී වියකුම , ආලෝකමත් වීම වගේ ප්‍රයෝග යෙදීම වුවත් සංකීර්ණයි. ...(ඊට වඩා සංකීර්ණ ද මංදා ඔය වචන . වියකුම = Fade out  ආලෝකමත් වීම = Fade in )



පිළිබිඹුව විදුලිය බවට පත් කරන්නේ කෙසේද ?


එය පැහැදිලි කරගන්න නම් X-Y පාඩම පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා. එතකොට ඒක  පැහැදිලි කමට ටිකක් පහසුයි.


රූපයේ එක් පැත්තක 1,2,3 පේලිත් , අනෙක් පැත්තේ A,B,C තීරුත් තිබෙනවා.( ඉස්කෝලේ ගණිතය පාඩමේ 1,2,3 පැත්ත Y අක්ශයත්  A,B,CX අක්ෂයත් ලෙස නම් කළා ...)




දැන් එහි එක් එක් කොටුවක් මෙසේ නම් කලහැකියි.

            
             3A   3B   3C
             2A   2B   2C
             1A   1B   1C

වීඩියෝ කැමරා වේ රූප සංවේදකය මත දීත් මෙවැනි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. (සංවේදකය මත වැටෙන පිළිබිඹුව  කුඩා කොටස් ලෙස ගෙන  ආලෝකය ඇති-නැති බව සලකා බැලීම) . තේරෙන භාෂාවෙන් නම් ඊට රූපය scan කිරීම කියනවා...එතකොට ආලෝකය ඊට ප්‍රතිසම විදුලිය බවට හැරවීම....?

නැවත කොටු පාඩම , ඒමත වැටුණු ආලෝක පිලිබිබුවක් සමඟ.

රූපයේ කහ පැහැය ආලෝකය වැටුණු තැන්. ඉතින් අපි ඒක scan කරමු.
                                         
                                             3A - මොකුත් නෑ
                                             3B - තියනවා
                                             3C - මොකුත් නෑ
                                             2A - තියනවා
                                             2B - තියනවා
                                             2C - තියනවා
                                             1A - මොකුත් නෑ
                                             1B - තියනවා
                                             1C - මොකුත් නෑ


වීඩියෝ කැමරාවේ දීත් හරියටම ඔය පිළිවෙලට රූපය scan කරනවා. එක දිගට , නොකැඩුණු signal එකක් ලෙස.




වීඩියෝ කැමරාවේ රූප සංවේදකය



මෙතනින් එහාට පනින්න  ටිකක් පරණ කතාවක් මතක් කරගන්න වෙනවා . රූපවාහිනී ඉතිහාසය ගැන හොයා බලපු “ ගල් යුගයෙන් ඩිජිටල් යුගයට - 04 ’’ දී සෙලේනියම් මූලද්‍රව්‍යයේ ප්‍රකාශ සන්නායකතාව පිලිබඳ කතා කළා. එහි යනවනම් මෙන්න link එක.


සෙලේනියම් ආලෝක සංවේදී මූලද්‍රව්‍යක් . ආලෝකය ඇති තැන්වල  එහි  ප්‍රතිරෝධය අඩුයි. නැති තැන්වල ප්‍රතිරෝධය වැඩියි. දැන් අපිට පුළුවන් 4 වෙනි රූපයේ එක් එක් කොටුවක් තුළ සෙලේනියම් කොටස බැගින් තබන්න. ඊළගට ඊට‍ විදුලි සැපයුමක් ලබාදී (input) එහි ප්‍රතිදානය (output) පරික්ෂා කරන්න. එය හරියටම 3A සිට 1C දක්වා ඇති තියනවා, මොකුත් නෑ රටාවම වේවි.
(පසුව වීඩියෝ කැමරාවේ ආලෝයට ප්‍රතිසම විදුලිය ප්‍රතිධානය කර ගන්නට සෙලේනියම් වෙනුවට වෙනත් ද්‍රව්‍ය - උපක්‍රම - උපකරණ භාවිතා කළා )



කැතෝඩ කිරණ නළය ඉන් එක් උපකරණයක්....