Tuesday, August 9, 2016

කලාව පිහිටන ක්‍රමය...


කලාව පිහිටන ක්‍රමය...

ඉස්සර “ඈපා ලිතේ” එහෙම මාතෘකාවක් තිබුණා. විෂ කලාව සහ අමුර්ත කලාව ..! පත්තරේ යන ලග්න පලාඵලයි, අළුත් අවුරුද්දට වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය නැකතයි ඇරුණුකොට ජ්‍යෝතිෂ්‍ය ගැන මෙලෝ දැනුමක් මට නෑ... ටික ටික හරි දන්නේ ටෙලිවිෂන් කලාව, ෆොටෝ කලාව වගේ දේවල්. ඒ නිසා මේ ඒ කලාව ගැන..ෆොටෝ කලාවට වැඩිපුර බර කරලා.
   
01.



අවුරුද්දකට දෙකකට කලින් නුවර කරපු ෆොටෝ වැඩමුළුක ප්‍රමෝෂන් වැඩ වලට දුවන අතර - තුර  කඩුගන්නාවට කිට්ටුව ඡායාරූප ශාලාවකටත්  ගොඩවැදුණා.

“අපි ඡායාරූප වැඩමුළුවක් කරනවා...ඒගැන මේ පෝස්ටරේ ප්‍රදර්ශනය කරන්න පුලුවන්ද?”   

කවුන්ටරේ හිටපු තරුණ මිත්‍රයා අපිව එයාගේ බොස් ලගට යැවුවා... ඒ ඡායාරූප ආයතනයේ හිමි කරුවාත් කළමණා කරුවාත් ඔහුමයි ..අපේ පෝස්ටරය කීප සැරයක් ඒ මේ අත හරවල බලපු “බොස්’ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා... ෆොටෝ ගන්න ඉගෙන ගන්න ඕනද...?

(මගේ උත්තරේ පසුව ලියා තියනවා )

ඊලගට ඔහු අපිට ෆොටෝස් වගයක් පෙන්නුවා...එයාගේ පුද්ගලික පරිගණකයේ තිබිලා . පරිණත පෙනුමක් තිබුණු අපූරු රූප රාමු ටිකක්..පින්තූර රාමු වල ඇස් ගල් කරගෙන හිටපු මට පසුබිමින් ඔහුගේ කටහඩ ඇහුණා .

“පුතා මේ අවුරුදු 8 ක පොඩි ගෑනු ළමයෙක්, සබන්පෙට්ටි කැමරාවකින් ගත්ත ඒවා...”

එක පාරටම මට විශ්වාස කරන්න අමාරු උණා..
(ඇත්තටම ඒවා වයස 8 ක ගෑණු ළමයෙක් සයිබර් ෂොට් කැමරාවකින් ගත්ත රූප.)



02.


(පළමු  ප්‍රශ්නය)

මගෙන් ප්‍රශ්නයක් ...!

“අපිට දේවල් පෙනෙන්නේ කොහොමද ...?”

01. ඇස් තියෙන්න ඕනේ (පෙනීමේ හැකියාව සහිතව )
02. වස්තුවක් තියෙන්න ඕනේ ( කැමති "වස්තුව"ක් ආදේශ කරගැනීමේ නිදහස ඔබට තියනවා)
03. ආලෝකය තියෙන්න ඕනේ ( අදුරු කාමරයක් ඇතුලේ ඇස     සහ වස්තුව දෙකම තිබුනට ආලෝකය නැත්තම් පෙනෙන්නේ කොහොමද ?)
04. (ඔය දේවල් ඔහේ  තිබුනට මදි)  ආලෝකය වස්තුවට වැටිලා   එහි ආලෝකය පරාවර්තනය වෙලා ඇස් වෙත එන්න ඕනේ...



 එතකොට පෙනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා...



දෙවැනි ප්‍රශ්නය ...


“ පෙනෙනවා සහ දකිනවා කියන්නේ එකමද ...?”

ඒ කට උත්තරය හොයාගන්න තව ප්‍රශ්නයක් අහනවා ...
( ඒ සැරේ මේක ප්‍රශ්න පත්තරයක් වේගන එන්නේ )


තෙවන ප්‍රශ්නය ...

“ඇහෙනවා සහ අහනවා කියන්නේ එකමද ...?”

ඒ කට පිළිතුරු දෙන්නෙ  පොඩි කතාවකින් ....


03.  ඇහෙනවා සහ අහනවා



රූපවාහිනියේ අධ්‍යක්ෂ වරයෙක්, අනගි කවියෙක් , අපූරු රචකයෙක් සහ  සුන්දර ගුරුවරයෙක් - ගයා රම්‍ය අල්විස් මහත්මා ...

අපේ ආයතනයේ දේශනයක  දී වරක්  පාඨමාලා ලාභීන් ගෙන් ඔහු ප්‍රශ්නයක් අහනවා.. 

“ නුබෙ අම්මා කොතැන ගියා..” කියන කවිය ඔබ අසා තිබෙනවද..? 
( වැඩි පිරිසකගේ පිළිතුර “ඔවු”) 
“ඒ කවිය මොනවා ගැනද .?”
වෙන මොනවද ඉතිං - නැළවිලි කවියක් නේ ...
“කවුරුන් විසින් කාට කියපු එකක් ද ?”
අම්මා විසින් දරුවට...දරුව නලව ගන්නේ කියන්නේ...

බහුතරයක් පිළිතුරු දුන්නා ...

ඊලගට ගයාරම්‍ය  කවියා , කවිය විස්තර කරනවා..
කවියේ වචන මෙහෙම.
“ නුබෙ අම්මා කොතන ගියා..
  කිරි එරවන් එන්න ගියා...
  කිරි මුට්ටිය ගගේ ගියා...
  ගගට උඩින් කොක්කු ගියා...”

එතකොට මේක කියන්නේ අඩන පොඩිපුතු නලව ගන්නට , (පොඩි එකා අඩන්නේ අම්මා ලග නැති නිසා.  අම්මා ලග නැත්තේ කිරි එරවාගෙන එන්න ගිහින් නිසා.( ඇයි? ඔය කවියේ දෙවැනි පේලියේ තියෙන්නේ )
පොඩි දරුවෙක් බිහිකරපු අම්මා කෙනෙක්ට කිරි එරෙනවා කියන්නේ ජීව විද්‍යාත්මක සංසිධියක් , එහෙවු එකේ අම්මා අහවල් එකකට යනවද කිරි එරවන්න..ඒ කොහොම නමුත්   කිරි මුට්ටිය ගගට වැටිලා..       ( ආයේ ඉතිං කිරි නෑ..)

ඊළඟට කියනවා ගගට උඩින් කොක්කු ගියා...

ගයාරම්‍ය දේශක වරයා   කියනවා , එතැන තියෙන්නේ සංකේතයක් ලු..   ( සංකේතයක් කියන්නේ ලොකු අදහස් හරි සංකල්ප හරි සිද්ධි හරි වගේ දේවල් - වෙනත් සරල  දෙයක් උපයෝගී කරගෙන බර අදහස කුළුගැන්වෙන විදිහට පහසුවෙන්  - සෘජුව - හකුළුවා ප්‍රකාශ කරන 
එකට ) ඉගිලෙන කොක්කුන් ගෙන් දක්වන ඒ සංකේතය සුදු කොඩි...



දැන් පැහැදිලියි ..පුංචි දරුවාගේ අම්මා මැරිලා...ඉතිං ආයේ කිරි මුට්ටිය නෑ..කවිය කියන්නේ පොඩි දරුවාගේ පුංචි අම්මා හරි  නැන්දා හරි  විය හැකියි...



මම හිතන්නේ මගේ තෙවන ප්‍රශ්නයට උත්තරය දැනටමත් හරි..!
ඇහෙනවා සහ අහනවා කියන්නේ දෙකක්...

අපිට ඔය නැළවිලි කවිය  අනන්ත වතාවක් ඇහිලා තිබුණා . නිරුත්සාහයෙන්...( පුංචි කාලේ ඒකට නලවෙන්නත් ඇති ) නමුත් අපේ පාඨමාලා ලාභීන්  එතෙක් ඇහිලා  තිබුණු කවිය එදා පළමු වතාවට ඇහුවා..! ( එතකොට ඇහුනාට වැඩිය මහ ගොඩක් පුළුල් දේවල්...වචන අස්සේ හගලා තිබුණු නිධන් වස්තු කණට අහු උණා...)

ඒ අනුව දේවල් වල පළල් - ගැබුරු - අපූරු  තැ‍න් අහුවෙන්නේ ඇහුවොත් විතරයි.
( ඇහෙනවා නෙමෙයි - අහනවා ...  )



04.

ඡායාරූප කරණය කියන්නේ ආලෝකයෙන් ඇදීමට .

ඒ නිසා ඡායාරූප ශිල්පය කියන්නේ ආලෝකයෙන් ඇදීමට .
ඡායාරූප ශිල්පීන් = ආලෝක සිත්තරු ...!



දෙවන ප්‍රශ්නය (නැවත...)
පෙනෙනවා සහ දකිනවා කියන්නේ එකමද ...?


පෙනෙනවා සහ දකිනවා කියන්නේ දෙකක්...
අපි එහෙ මෙහෙ යනකොට දේවල් පෙනෙනවා ...හැබැයි උවමනාවෙන් බැලුවොත් විතරයි දකින්න පුළුවන් වෙන්නේ.. ( ඇහෙනවා වෙනුවට අහනවා වගේ.. )

එහෙම නම් ආලෝක සිත්තරෙක්  දේවල් දකින කෙනෙක් වෙන්න ඕනේ...දකින්නට පුරුදු කරපු ඇස්  තියෙන කෙනෙක් වෙන්න ඕනේ... දකින අපූරු දේවල් පෙන්නන්න ඔහුගේ මෙවලම (කැමරාව ) පාවිච්චි කරන  කෙනෙක් වෙන්න ඕනේ...කොටින්ම “පොටෝ කැචර්” කෙනෙක් වෙනුවට “ෆොටෝ ග්‍රැෆර්” කෙනෙක් වෙන්න ඕනේ...!



05.

කලාව පිලිබඳ ප්‍රශ්නය ...

කළා කෘතියක අරමුණ මොකක්ද ...?
කෘතිය කොච්චර ගැබුරු උණත් පිළිතුර සරළයි...

කළා කෘතියක අරමුණ විය යුත්තේ “රසවින්දනය” යි.
ඡායාරූප සම්බන්ධයෙන් එසේ වන්නේ “ ආලෝක සිත්තම් කරණය ” තුලින් අපූරු දෙයක් රාමු ගත කර තිබුනොත් පමණයි. ( අපූරු කියන වචනයේ අදහස වන්නේ පෙර නොවූ විරූ කියන එක )
ඉතින් ඡායාරූප කලාව කරන්න නම් - දකින්න පුරුදු කරපු ඇස් දෙකක් හදා ගන්න ඕනේ..අපූරු දේවල් දැකිය හැකි වන්නේ එවිට පමණයි.


06.

( හැම වෙලේම නොවුනත් ) සරළ දේ ඉතා ගැඹුරුයි...
(ඒ මගේ අදහස) 


 පුංචි කවියක් තියනවා...
(ඕනේ තරම් අහලා ඇති )


“ රෝස මලේ - නටුවේ කටු
   වන බඹරෝ - ඔහොම හිටු...
   නටුව නොවේ  මල සිබිමී
   මම ළමයෝ පැණි උරමී  ”

ඔය කවියේ පෙම්වතියක් හබා යන පෙම් වතෙකුට කරන අනතුරු ඇගවීමක් තියනවා ලු.
ඔව් - එහෙම එකක් පේනවා ...( එහෙම කිව්වට පස්සේ )
ඔය කවියේ තියෙන්නේ පොඩි දරුවෙක් සහ වන බඹරෙක් අතර සංවාදයක්
ඔව් - එහෙම එකක්  තියනවා ...

ඉතින් කැමති එකක්  තෝරා ගෙන  “සරළ වෙන්න”... නැත්නම් නම් “ගැබුරු වෙන්න...”  ඒ දෙකටම උවමනා තරම්
අඩු වැඩිය අඩු නැතිව ඒ සරළ කවියේ  තියනවා...

( කවියාගේ පෑන  =  ඡායාරූප ශිල්පියාගේ කැමරාව )


07. මගේ පිළිතුර

“ ෆොටෝ ගන්න ඉගෙන ගන්න ඕනෙද”
ඔවු ඉගෙන ගන්න ඕනේ...( ටියුබ් ලයිට්  නැතුව එදා කටට ඒ උත්තරේ ආපු විදිහ අදටත් පුදුමයි මට.. )



( පිළිතුරට හේතු දැක්වීම )

කැමරාවක් අතේ තියනවා ...අපූරු රූපයක් දකිනවා...පින්තූරයක් ගන්නවා...අපිට ඕනේ පින්තූරය වදින්නේ නෑ. (කැමරාවට ඕනේ පින්තූරය වදින්නේ ) එහෙනම් අපිට ඕනේ පින්තූරය ගන්න කැමරාවට අදාළ තාක්‍ෂණය ඉගෙන ගන්න ඕනේ...සමහරුන් කලාත්මක හැකියාව උපතින් අරන් එනවා... එහෙම නැති අයගේ කෘති වලට කලාව එකතු කරගත හැකි විධි ක්‍රම පිලිබඳ දැනුම න්‍යායන් විදිහට ලෝකයේ එකතු කරලා තියනවා...එබඳු දේ ඉගෙන ගැනීමේ - පරිශීලනය කිරීමේ  වරදක් ඇතැ‍යි මම හිතන්නේ නෑ...

( ඒ හේතු දැක්වීමට  ඔහු එකග වුණා - ඒ නිසා වෙන්න ඇති , ඔහුගේ අගනා සිහිවටන සහ පොත් එකතුවත් මට පෙන්නුවා )

දකින්නට පුරුදු කළ ඇස් වලට හසු වුණු
සරල බව ඉතා ගැබුරුයි
මෙන්න උදාහරණ


( ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි )


















(quoting from internet)



තේරුණාද මංදා ...............

Blacklight365 කලු එලිය Blacklight365

සියළු හිමිකම් ඇවිරිණි.

No comments:

Post a Comment